රන්ජන්  එනතෙක්  දිල්හානි අශෝකමාලා…

රන්ජන් එනතෙක් දිල්හානි අශෝකමාලා…

රංජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි පවසන්නේ. රංජන් වෙනුවෙන් තම පාර්ලිමේන්තු අසුන පවා කැපකිරීමට සුදානම් ව සිටි හරීන්ය දැන් හැටියට කියනවා නම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුය.

රංජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇති බව හරින් පවසයි.

රංජන් එනතුරු බොහෝ දෙනා බලා හිඳිති. ඒ ඔහුගේ කොන්ද කෙළින් තබාගෙන හිතට එකඟව කතා කරන මිනිහෙක් නිදහසේ ජීවත්වීම සුන්දර දසුනක් වන හෙයිනි. ඒ සුවහසක් දෙනා අතර දිල්හානි අශෝකමාලා ඒකනායක ද සිටින්නීය.

යොවුන් වියේදී රන්ජන් පිළබඳව ලාවට සිතක් ඇති කර ගත්තත් එය දුර නොගිය තැන එය කල් පවත්නා මිතු දමක් විය. එය හුදෙක් මිත්‍රත්වය පමණක් මත පදනම් නොවීය. දිල්හානි අශෝකමාලා ඒකනායක දේශපාලන වශයෙන් සබුද්ධික කලාකරිනියකි.

යහපත් හෙටක් ප්‍රර්ථනා කළ යහ පාලන සටනේදී රන්ජන් සමඟ හිටගත්තාය. යහපාලන ආණ්ඩුව තම පොරොන්දු ඉටු නොකරන විටත් ඇය ඒගැන ප්‍රශ්න කළාය. තමන්ගේ ප්‍රතිරුපය භාවිතා කරමින් එම ආණ්ඩුවෙන් වරප්‍රසාද ලැබීමටත් නොගියාය.

රංජන්ගේ සමාජ සේවය මුල් කරගත් දේශපාලනයේදීත් හැකි පමණ උදව් වුවාය. රංජන් සිරගත වීමට පෙර අවසන් වතාවට ඇය එක්වූයේ ඔහුගේ සල්ලි දන්සැලට විය හැකිය. රංජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ලැබූ හිඟ වැටුපක් නිර්ලෝභී ලෙස බෙදා දුන් සල්ලි දන්සැලට ඇය සහභාගී වුයේ සුපුරුදු මුහුණින් සරසා ගෙනය.

සිරගත වූ පසු රංජන් නිදහස් කර ගැනීමට පැවැත්වූ සෑම උද්ගෝෂණයදීම පාහේ දිල්හානි දැකගත හැකිවිය. ඉන් අනතුරුව අරගල බිමටත් ඇය ගියාය. රංජන් නිදහස ලබන බව සැලවෙන තුරු ආශාවෙන් බලාසිටින ඇය මාධ්‍යයට කථා කළාය.

කොහොමද ඔබේ අලුත් තොරතුරු?

මේ දවස්වල ඇත්තටම කලාකටයුතු නම් මුකුත්ම වෙන්නේ නෑ. ආයේ මට වැඩ කරන්න තිබෙන්නේ අගෝස්තු මැද හරියේ. ඒකත් කොවිඞ් කාලේ නැවතුණු ලක්මාල් ධර්මවර්ධනගේ වාලම්පුරි චිත්‍රපටයේ ඉතිරි වුණු මගේ කොටස විතරයි. ඉන්ධන ප්‍රශ්නය නිසා ගොඩක් වැඩ නැවතුණා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන :

කොයි කවුරු ආවත් නීතිය එකයි, පාලනය එකයි, තීන්දු තීරණ එකයි. රටක් පවතින චක්‍රය එකයි. අපේ ඒ දේ නෙවෙයිනෙ සිදුවන්නේ. එන එන අය අනුව තමයි දියුණුව, පිළිවෙළ, නීතිය පවතින්නේ. එතකොට කොවිඞ් වගේ බාහිර ව්‍යසනයක් ආ ගමන් රටක් එකපාරට කඩා වැටෙනවා. තියෙනකොට අසීමිත ලෙස නාස්ති කරනවා. ණය වෙනවා. නැතිකොට බංකොළොත් වෙනවා. ඒ නිසා වැඩිහිටියන් වගේම ළමයිනුත් ඉන්නේ හරි මානසික ආතතියකින්.

ඔබ සිනමාවට පිවිසෙන්නේ අසූව දශකයේ අවසානයේ. එදා මෙදා තුර ර වෙනස,

(සිනාසී) උඩුයටිකුරු තමයි. අහසයි පොළොවයි වගේ. දුරයි. කණපිට හැරිලා වගේ ගතියක් තිබෙන්නේ. අපට එහෙම කියන්න පුළුවන් අපි එහෙම කාලයක් ගත කළ නිසා. අද කාලේ ළමයි නම් හිතයි දිගටම තිබුණෙ මෙහෙම තමයි කියලා. ඒත් අපේ චිත්‍රපට පෙළ නැරඹුවොත් බලාගන්න පුළුවන් මේ රටේ චිත්‍රපට කලාව තිබුණ ආකාරය ගැන. අපි ආ කාලයේ හැටියට දැන් චිත්‍රපට කලාව තිබෙන්නේ උලාකනවා වගේ තැනක. ඉඳ හිට රඟපානවා. චිත්‍රපට ප්‍රදර්ශනය පිළිවෙළක් නෑ. චිත්‍රපට උලෙළ නෑ. සිනමාවේ තිබුණු ග්‍රෑන්ඞ් කියන ගතිය, ග්ලැමර් එක, සෙලිබ්‍රිටීස් කියන අයගේ වටිනාකම ඒ සියල්ල ඉවරයි.

ජංගි හොරා මතකය :

ලංකාවේ අන්තිම වශයෙන් හොඳටම දිව්ව චිත්‍රපටයක් හැටියට ජංගි හොරා සලකන්න පුළුවන්. ඒක යන්තම් අපල කාලය පැනගත්තා වගේ දෙයක් වුණා. එහි නම, ප්‍රචාරණ උපක්‍රම ඒ සියල්ල එයට බලපෑවා වෙන්න ඕනෙ. එතැනින් එහාට චිත්‍රපටයක් ගැන සමාජ කතිකාවක් ඇති වුණේ නෑ මෑතක මම දන්න තරමින්. නිරුවත හෝ අඩනිරුවත නැත්නම් සමලිංගිකත්වය හෝ වෙනත් මානසික රෝග ඇති චරිත කියන්නෙ සාමාන්‍ය සමාජයේ තිබෙන දේවලින්ම නිර්මාණයක් ඇසුරින් එළියට එන්නක්. මම හිතන විදිහට අසාමාන්‍ය නොවුණත් ප්‍රේක්ෂකයාට අසාමාන්‍ය වුණ නිසා තමයි ජංගිහොරා වුණත් චිත්‍රපටයක් ලෙස හොඳින් ප්‍රදර්ශනය වුණෙත්. රංගන ශිල්පිනියක් ලෙස මගේ මනසේ ඒ චරිත නිරූපණයට බයක්, චකිතයක් දැනෙන්නේ නෑ. මට පුළුවන් කියා හිතෙනවා නම් මම ඕනෙම අභියෝගයක් බාර ගන්නවා. රංගනය කියන්නේ සුදුම, සිල්වත්ම චරිත පමණක් නිරූපණය කිරීම නෙවෙයි.

පෞද්ගලිකත්වය :

අපට පෞද්ගලිකත්වය කියා දෙයක් නෑ. හැම දෙයක්ම ජංගම දුරකථනවලින් පටිගත කරලා සමාජ මාධ්‍යවලට මුදා හරිනවා. ඒ වගේම අපේ අයත් ගෙදර කනබොන එකයි යන එන තැනුයි ඔක්කොම සමාජ මාධ්‍යවල ප්‍රචාරය කර ගන්නවානෙ. තමන් ගැනම යූටියුබ් චැනල් හදාගෙන පෞද්ගලිකත්වය විනාශ කරගෙන තිබෙන්නේ. මිනිස්සු කොච්චර දොස් කියනවාද කියලා ඒ අයවත් දන්නේ නෑ. අලුතෙන් ඇවිත් ජනප්‍රියත්වය පසුපසම හඹා යන අය එහෙම කළාට සෙලිබ්‍රිටීස්ලා හැටියට නමගිය හොඳ රංගන දායකත්වයක් ක්ෂේත්‍රයට සැපයූ අය මේ දේවල් කරනවා අඩුයි. මාලිනී ෆොන්සේකලා, සබීතා පෙරේරලා මේ දේවල් කරනවාද? ඔවුන්ට තමන්ගේ රංගන වෘත්තියෙන් හැදුණු නමක්, ජනප්‍රියත්වයක් තිබෙනවා. හොඳට බලන්න මුකුත්ම වැඩක් හරියට කරලා නැති ‘නළු නිළියෝ‘ තමයි මේවා කරන්නෙ. ඔවුන් රංගන ශිල්පීන් නෙවෙයි. හැබැයි ලස්සනයි, සුදුයි, කාර් බාර්වල යන්නේ, හොඳම ඇඳුම් අඳින්නේ, හෝටල්වල නිතර ඉන්නේ. හැබැයි රංගන දායකත්වය….? ස්වර්ණා මල්ලවආරච්චිලා වගේ අයට එහෙම වැඩිය දඟලන්න ඕනෙද?

ජැක්සන් ඇන්තනි,

ජැක්සන් (ඇන්තනි) අයියලා ගත්තාම ඔවුන් ලෝකය දිහා බලන විදිහ, කරන දේවල් අනුව තමන්ව හසුරුවා ගන්නා ආකාරයේදී රංගනය පිළිබඳ ඇති සංවේදිතාව චරිතය තුළින් මතුවෙනවා. නිරන්තරයෙන් ඒ දේවල්වල යෙදෙමින් තව කෙනකුගේ ස්වභාවයක් ග්‍රහණය කරගන්න තරම් හිත දියුණු වෙලා තියෙන්න ඕනෙ ශිල්පියකුට. ඇත්තම කීවොත් ශිල්පියෙක් ග්ලිසරින් දාලා හඬද්දි ඒක ප්‍රේක්ෂකයාට අහුවෙනවා. අවස්ථානුකූලව ඇඬෙද්දි ඒක ඔවුන්ට දැනෙනවා. හරි ශිල්පියකුට ඕනෙ නම් අඬන්න පුළුවන් වෙන්න ඕනෙ හීන හොයන සමනල්ලූ‍ නිර්මාණයේ මට තිබුණා මුලින් හොඳට කතා කරලා හිනා වෙලා, එක පාරටම කඳුළු වැටෙන්න අඬන්න. එය අභියෝගයක්. ඒත් අධ්‍යක්ෂවරයාත් පුදුම වුණා මම කොහොමද ඒ මොහොතේ කඳුළු ගත්තෙ කියලා. දෙවැනි ටේක් එකකට ගියානම් සමහර විට මටත් ආයෙ බැරි වෙන්න ඉඩ තිබුණා ඒ දේම කරන්න. නිර්මාණයකදි ඒ චරිතය අපේ කරගන්නත් ඕනෙ.

සින්දු වලට නටන එක :

මට මුලින්ම ලැබුණෙ සරල විනෝදාස්වාදය ගෙනෙන චිත්‍රපට. ඒ කාලේ වුණත් සින්දුවකට නටන්න පවා දර්ශන තලයට ගන්නේ මාස ගණනක් පුරුදු වෙලා. අශ්වයන් පදින්න, සටන් කරන්න, නටන්න අපව පුහුණු කළා. ඒකත් ඉතින් පාසලකට ගියා වගේ තමයි. අපේ දුර්වලකම තිබෙන්නේ විශේෂයෙන්ම ස්ටෝරි ලයින් එක නැත්නම් කතා ආඛ්‍යානයේයි. අපේ කාලේ හිටිය දයා විමලවීරලා, සුනිල් සෝම පීරිස්ලා වගේ අය ඒ සිනමාව දැනගෙන හිටියා. මේ වන විට උදයකාන්ත වර්ණසූරිය අයියා ඇතැම් විට ඒ මඟ යන්න උත්සාහ කරනවා. ඒත් අද වන විට අපේ පොහොසත් සිනමාවේ සිටි දැවැන්තයින් පිරිසක් මෙලොව අතහැර ගිහින් ඉවරයි.

දේශපාලනය :

මට අද මගේ හිස කෙළින් තබාගෙන අභිමානයෙන් පාරෙ ඇවිදගෙන යන්න පුළුවන් වීම ගැන සතුටක් තිබෙනවා. මම මට දිය හැකි දේ ජනතාවට දුන්නා. මටත් ආපසු යම් දේවල් ටිකක් ලැබුණා. මම ඒ ගැන හරිම තෘප්තිමත්. මම කවදාවත් මහා හීන ලෝකවල ජීවත් වුණේ නෑ. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු පස්සේ ගිහින් චිත්‍රපට ඉල්ලලා, අනුන් කපාහරින්න යටිකූට්ටු වැඩ කළේ නෑ. ඒ ගැනත් මට සතුටුයි. අපට ලැබෙන ඒ බලය මුලින්ම වරද්දගත්තොත් හරි භයානකයි. එය සාධාරණව භාවිත කළ යුතුයි. අපි රට වෙනුවෙන් කතා කළ යුතුයි, වැඩ කළ යුතුයි. හැබැයි දේශපාලනය කියන්නේ මට අදාළ විෂයයක් නෙවෙයි.

Related Articles