අරගලකරුවන් ඉවත් කළාට  විරෝධය…

අරගලකරුවන් ඉවත් කළාට විරෝධය…

ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන් අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් විරෝධය පල කරමින් සිටිති.

මේ වන විට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය අරගලකරුවන් ගේ සියලු කූඩාරම් ඉවත් කර ජනාධිපති ලේකම් කාර්යාලය සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇත.

ගාලු මුවදොර සිට බාලදක්ෂ මාවත දක්වා වූ භූමි ප්‍රදේශය අරගලකරුවන්ගෙන් නිදහස් කරගෙන ගෙන ඇති අතර නීතිඥවරුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් දහසකට ආසන්න භට කණ්ඩායමක් අද අළුයම 1.30 ට පමණ අරගල භූමියට ඇතුළු වී අරගලකරුවන් පලවා හැරීමේ මෙහෙයුම දියත් කොට ඇත.

මෙම ගැටුම් අතරතුර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් ද ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්වී ඇතැයි වාර්තා වේ.

කිසිදු දැනුම්දීමක් නොමැතිව පැමිණි හමුදා සහ පොලිස් කණ්ඩායම් අරගලකරුවන්ට පන්න පන්නා පහර දුන් බවට අරගලකරුවෝ චෝදනා කළහ.

පිරිසට පහර දෙන ආකාරය අරගලකරුවන් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර ඇත.

ආණ්ඩුව පෙරලීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍වාදී නොවන බව ජනාධිපති වික්‍රමසිංහ ඊයේ කියා සිටියේය. මේ සිදුවීම සම්බ්න්ධයෙන් තමන් දැඩි අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය පවසයි.

‘ගහලයාව පන්නගන්න ජනතාවනි එකතු වෙන්න’ සහ ‘මැර ජනපති පන්නමු’ ආදි සටන් පාඨ කියමින් සිවිල් සංවිධාන සාමාජිකයන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

Related Articles