මගේ පුතාට කරදරයක් කරන්න එපා – වසන්ත මුදලිගේ මව…

0
59

වසන්ත මුදලිගේ අරගලයේදී ඉදිරිපෙළ නායකත්වය ගැනීම නිසා මේ වනවිට නීතිය ඔහු ලුහුබඳිමින් සිටී. ඔහුගේ මව තම ආදිවාසි පෙළපත සඟ දුර ඈත සිට බලා සිටී. දිනපතාම පාහේ රුපවාහිනී තිරයේ තම පොඩි එකා දැකගත හැකිවුවත් අවුරුද්දකට වැඩි කාලයක් ඔහුව හැබැහින් දැකගන්නට ලැබී නැත.

” මම හරියටම අවුරුද්දකින් මගේ පුතාව මේ ඇස් දෙකට දැකලා නෑ. පුතාට කතා කරන්න ටෙලිෆෝන් එකක්වත් මට නෑ. වෙලාවකට හිතෙනවා ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා හරි මුණ ටිකක් බලලා එන්න. ඒත් මම ඔය කොළඹ රටට කවදාවත් ගිහිල්ලා නෑ. ඒ නිසා කොහේ යන්නද කියලා හිතාගන්න බෑ. පුතා ගැන රට්ටු කියන කතා ඇහුවම තවත් දුකයි. ඒ දුකටම මම දැන් ලෙඩවෙලා ඉන්නේ. අපේ එකා කොළඹ ගිහින් ආණ්ඩු පෙරලනවලු, ජනාධිපතිලා අගමැතිලා ගෙදර යවනවලු. අනේ ඉතින් මිනිස්සු කියන දේවල් අහන් ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.” මේ ඒ අහිංසක මවගේ සුසුමයි.

පුරා විසි වසරකට වැඩි කාලයක් මේ මාතාව තම දරුවන් තිදෙනා රැක බලා ගෙන ඇත්තේ සැමියා නැතිවය. එහෙත් දරුවන් තිදෙනෙකුටම සරසවි වරම් ලබා දීමට සමත් වුවාය.

ඇගේ ජීවිතය දිරිය සහ වේදනාව පිරුණු එකකි….

‘මහත්තයා නැතිවෙලා දැනට අවුරුදු විසිදෙකක්. දරුවෝ පහක් ඉන්නවා. වසන්තයි, බාල පුතයි පුරාවිද්‍යා අංශයෙයි, අපරාධ අංශයයි උපාධිධාරීයො. බාල පුතාත් උපාධිය ගත්තට තාම රස්සාවක් නෑ. හැබැයි එයා කසාදයක් කරගෙන නෝනගේ ගෙදරට වෙලා ඉන්නවා. එක දුවෙක් ඉන්නේ තණමල්විල. තව පුතෙක් දුරක ගිහින් මොකද්ද මන්දා රස්සාවක් කරනවලු. ඒත් දැන් අවුරුදු තුනකින් මාව බලන්න ඇවිත් නෑ. දරුවෝ ගැන හිතලා ගෙදර ලිපවත් පත්තු නොකර හිටපු දවස් ඕන තරම් තියෙනවා. ඒ වුණාට එයාල පුළුවන් විදියට මට සලකනවා.

ජීවිතයේ ගැටළු සමඟ පොරබදන්නට ඇයට හැකිවිය.

“මට එදා ඉඳලාම හරි ආදායමක් තිබුණේ නෑ. සමහරදාට දරුවන්ට මුරුංගා කොළයි, මයියොක්කා කොළයි විතරක් තම්බලා කන්න දීලා තියෙනවා. ඒ කාලේ මේ ආදීවාසි ගම්මානෙ බලන්න එන අයට මාල, වළලු, මල්පෝච්චි වගේ දේවල් හදලා විකුණලා පොඩි ගාණක් හොයාගත්තා. දැන් මට රුපියල් දෙසිය පනහක පින් පඩියක් හම්බෙනවා. රුපියල් 1500ක සමෘධියකුත් ලැබුණා. හැබැයි ළමයි දෙන්නෙක් බැඳලා කියලා පස්සේ ඒක කපලා දැම්මා.”

අරගලය ඉදිරිපෙළ නායකත්වයට පැමිණ සිටින තම පුතාට ගරහන අයටත් ඇයට කියන්නට යමක් ඇත.

‘වැද්දියෙකුගේ බඩේ ඉපදුණාට මයෙ පුතා වැද්දෙක් නෙවෙයි.මොකද එයාගේ තාත්තා තණමල්විල හොඳ මනුස්සයෙක්. මගේ පුතාට කවුරුහරි එහෙම කියනවනම් උන් ඉරිසියාකාරයෝ. තම සැමියා පිළිබඳව අතීතය මෙනෙහි කරමින් දවසක් එයා නෑදෑයෝ යාළුවෝ එක්ක බස් එකකින් විනෝද චාරිකාවක් ආවා අපේ ආදීවාසි ගම බලන්න. ඒ කාලේ මම ගොඩාක් හැඩයි. එයා එද්දි මම මිදුල අතුගගා හිටියේ. ඉතින් එයා මට කැමතියි කිව්වා. පස්සේ මාව කරකාර බැඳලා එයත් මාත් එක්කම ආදිවාසී ගමේ නතර වුණා.

මේ ප්‍රශ්නයට දෙන්නේ තර්කානුකුල පිළිතුරකි. ආදිවාසීන් සිංහලයාගේ පරණම ජන කොට්ඨාසයලුන්නේ. ඉතින් ආදිවාසියෙක් කියන එක ලැජ්ජා වෙන්න කාරණාවක් නෙවෙයින්නේ? අපි ඒක ලැජ්ජාවක් විදියට හිතන්නේ නෑ. ඒත් මේ මිනිස්සු අපිට වැද්දෝ වැන්දෝ කියලා අපිව මුල්ලකට කරනකොට අපි අසරණ නැද්ද? මගේ දරුවෝ මුලින්ම ගියේ මෙහෙ දඹානේ ඉස්කෝලෙට ඊටපස්සේ මහියංගණය දෙහිගොල්ල ඉස්කොල්ලෙට ගියා. ඒ ගියපු වෙලාවෙ සමහර ළමයි මගේ දරුවන්ට වටකරගෙන ගහලත් තියෙනවා, ඔන්න වැද්දෝ ඇවිත් එලවපල්ලා කියලා.

ඇගේ වර්තමානය ගතවන්නේ සතුට මෙන්ම අවිනිශ්චිත බව මුසුවූ වාතාවරණයක් තුළය.

මට මේ වගේ එඩිතර පුතෙක් ලැබුණු එකට සතුටු වෙන්නද, දුක් වෙන්නද කියලා තේරෙන්නේ නෑ. හැබැයි මගේ පුතාට වැද්දා කියලා අපහාස කරන අයට මට කියන්න තියෙන්නේ අනිත් එවුන් නිකන් උඩ බලාගෙන ඉද්දි මගේ වැද්දා රට පෙරලුවා. කොහොමද ඒක කියලා තමයි. කියන්න තියෙන එකම දේ අනේ පුතේ මට උඹව බලන්න ඕනේ කියලා තමයි. උඹව හොයාගෙන එන්න කොළඹ රටේ පාරක් තොටක් මම දන්නේ නෑ. ඒක නිසා එකපාරක් ඇවිත් මාව බලලා පලයන්.

වසන්ත මුදලිගේ ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන බව සමහරු කියති -දඹානේ කළුමැනිකා ගේ පිළිතුර සරලය.”ඒවාට උත්තර බඳින්න නම් මට දැනුමක් නෑ”.

මගේ පුතා වැරදි කරන කෙනෙක් නෙවෙයි. අම්මා ගැනවත් හිතන්නෙ නැතුව රටේ මිනිස්සු ගැන හිතලයි ඔය ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒක නිසා මගේ පුතාට කරදරයක් කරන්න එපා. එයාට නිදහසේ ඉන්න දෙන්න. එතකොට මටත් හිතේ ගින්දරක් නැතුව සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්.

මෙවන් මව්වරුන් තව කීදෙනෙක් සිටීද ?
විරෝධයේ මගට මේ දු දරුවන් තල්ලු කොට ඔවුන් ලවා තම සිතැඟි ඉටුකොට පසුව ඒ විරෝධයේ පාරිශුද්ධ බව සොයන සමාජයකට සාධාරණ සමාජයක් යැයි පැවසිය හැකිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here