මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ අවසන් වන දිනය  කවදා  උදා වේවිදෝ…

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ අවසන් වන දිනය කවදා උදා වේවිදෝ…

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සඳහා දණ්ඩමුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරන අවස්ථාවේදී කෲර වධහිංසා වලට ලක් වු පොද්දල ජයන්ත පවසන්නේ තමුන්ට සාධාරණය ඉෂ්ට නොවූ බවයි.

“මට මේ අපරාධය සිද්ධවෙලා අවුරුදු 13ක් වෙනවා. අද වෙනතුරු කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ,” ඔහු බී බි සීයට පැවසීය.

“මගේ ජීවිතාරක්ෂාව පතා මම ජීවත්වෙන්නේ අමෙරිකාවේ නිව්යෝක්වල. දැන් මෙහෙට ශීත සෘතුව ළඟාවෙමින් තියෙනවා. එතකොට මගේ පාදයේ ලෝහමය ආධාරයකින් තමයි මම නැඟිටලා ඉන්නේ. සිද්ධියෙන් පස්සේ බද්ධ කරලා තියෙන්නේ එහෙම යි. එතකොට ශීත සෘතුව කියන්නේ ඒ මාස කිහිපය පුදුමාකාර ශාරීරික වධහිංසාවකට ලක් වෙනවා. ඒ ශල්‍යකර්මය කරලා තියෙන්නේ ලංකාවේ. ඒ නිසා ඒ පරිසරයට උචිත විදිහට තමා ඒ ලෝහමය ආවරණය දාලා තියෙන්නේ,” පොද්දල ජයන්ත සඳහන් කළේ ය.

“ඒ ශාරීරික වධහිංසාවට වඩා මම අතිවිශාල මානසික වධබන්ධනයට ලක්වෙලා. අවුරුදු 13ක් ගෙවිලාත් මට ඒක මනසින් අයින් කරගන්න බැරිවෙලා තියෙනවා. ඒ ජංගම වධකාගාරය, සුදු වෑන් රථයේ. පැහැරගෙන ගිහිල්ලා වධ තිස්දෙක දෙනකොට මට හිතුණ දේ තමයි මේ මොහොතේ, මීළඟ නිමේෂයේ මාව මරණවා කියන අදහස. ඒ අත්දැකීම මට තිබුණේ. ඒ ඇතිවෙච්ච මරණ බය, ඒක වචනයේ පරිසමාප්ථ අර්ථයෙන් කාටවත් විග්‍රහ කරන්න බැරිවෙයි. කවුරුවත් ඒ අත්දැකීම නොලබපු කෙනෙක් ඒක දන්නෙත් නැහැ. ඒ මානසික පීඩාව, මේ අවුරුදු 13නේම කොතරම් කවුන්සිලින් ගත්තත් මට අයින්කරගන්න බැරිවෙලා තියෙනවා,” ඔහු සඳහන් කළේය.

ඔහුට පහර දුන් බව එළිපිටම පවසන පිරිස් සිටියත් පොලීසිය තවමත් ඒ පිළිබඳව පියවර ගෙන නැත.

Related Articles