රට  අස්ථාවර  වුවහොත් තත්වය  බරපතලයි – මහ බැංකු අධිපති….

රට අස්ථාවර වුවහොත් තත්වය බරපතලයි – මහ බැංකු අධිපති….

රට පත්ව ඇති තත්ත්වයේ බරපතල බව සියලු දෙනාම අවබෝධ කරගත යුතු බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ජනතාව විඳින පීඩා අවම කිරීමට නම් ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යෙන්ම අවශ්‍ය යැයි ඔහු පවසයි. “මේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කතිකා කරමින් සිටියදී යළිත් අස්ථාවර තත්වයක් මතුවූ බවයි,” මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේ.

කෙසේ නමුත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව මෙම පියවර සඳහා එළැඹිය නොහැකි බව ඔහු අවධාරණය කර සිටියේ ය.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි, මෙම ක්‍රියාමාර්ගයන් අසාර්ථක වුණහොත් “ජනතාවට ජීවත් වීමට බැරි තත්ත්වයක්” ශ්‍රී ලංකාවේ උදාවිය හැකි ය. අරගලකරුවන් සහ පාර්ලිමේන්තුව ප්‍රමාද නොවී එක්ව රටක් ලෙස කල්පනා කල යුතු බවද ඔහු පැවසුවේය.

මීළඟ සති දෙක සඳහා ඉන්ධන ඇති නමුත් එතැනින් එහාට ගත යුතු ක්‍රියා මාර්ග සඳහා දේශපාලන ස්ථාවරත්වය අතවශ්‍ය බව ඔහු පැවසීය.

මේ අතර රටේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා වන මහ බැංකුව රාජ්‍ය ආදායම් ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අදාල නිර්දේශ රාශියක් ඉදිරිපත් කෙරිණ. එම යෝජනාවන් නම්:

– මහ බැංකුව විසින් මීට පෙර කරන ලද නිර්දේශය මත අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන
අධෛර්යමත් කිරීමට පියවර හඳුන්වා දීම.
– වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම.
– විදේශ ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිමත් කිරීම.
– බලශක්ති සංරක්ෂණ පියවර ක්‍රියාවට නැංවීම, පුනර්ජනනීය බලශක්තිය දෙසට ගමන් කිරීම වේගවත් කිරීම.
– තිරසාර පදනමක් මත සුදුසු බදු වැඩි කිරීම් හරහා රාජ්‍ය ආදායම වැඩි කිරීම.
– හදිසි පදනමක් මත විදේශ මූල්‍යකරණය සහ ණය නොවන විදේශ විනිමය ගලා ඒම බලමුලු ගැන්වීම.
– උපාය මාර්ගික නොවන සහ ඌන උපයෝගි වත්කම් වලින් මුදල් ඉපැයීම.
– අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම.

Related Articles