රට බංකොලොත් කළාට ගෝඨාභයට නඩු?

රට බංකොලොත් කළාට ගෝඨාභයට නඩු?

රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරුවෙකු ලෙස නම් කොට ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරුවෙකු ලෙස නම් කොට අගෝස්තු 01 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අද (ජූලි 27)
ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට නොතීසි නිකුත් කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස පුද්ගලිකව නම් කොට ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙත්සම් විභාගයෙන් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ නඩු පැවරීමේ මුක්තිය හේතුවෙනි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවු අතර හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 02වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කොට ඇත.

එසේම තමන් විදේශ ගත නොවන බවට මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල සහ හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සිය නීතිඥවරු මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් පොරොන්දුව ද අගෝස්තු මස 02වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.

අදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කරමින් ආර්ථිකය බංකොලොත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජුලියන් බෝලිං, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

Related Articles