සමන්තාගෙන් ගොවීන්ට  ඩොලර් මිලියන හතලියක්…

සමන්තාගෙන් ගොවීන්ට ඩොලර් මිලියන හතලියක්…

අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි USAID ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පස්වරුවේ ජා-ඇල ප්‍රදේශයේ සංචාරයක නිරත වූවාය. ඒ, ගොවීන්ගේ වී වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි.

ගොවීන්ගේ දුක් ගැනවිලි පිළිබඳව විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය සඳහන් කළේ මෙරට ගොවීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40 ක ප්‍රදානයක් ලබාදීමට තීරණය කර ඇති බවයි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම මුදල් ලබාදෙන බවද ඇය ප්‍රකාශ කළාය.

මේ යටතේ ගොවීන් මිලියනයකට අධික පිරිසක් ප්‍රතිලාභ ලබන බවත් මීලඟ කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සහ ගොවීන්ගේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් අදාල මුදල් යොදවනු ඇති බවත් සමන්තා පවර් මහත්මිය සඳහන් කළාය.

සමන්තා පවර් මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත දක්වා ඇති සහයෝගය අගය කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව ද ඇය අදහස් දැක්වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීමේ ප්‍රගතිය සැලකිය යුතු බවත්, මූලික ගිවිසුම් අදියරට පැමිණ ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ලබා ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන බැවින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් පැවසුවාය.

කෙසේ වෙතත්, මේ රටේ ණය පීඩාව ප්‍රශ්නකාරී බවත්, ආර්ථිකයට ඉන්ධන සැපයීම සඳහා රජයට සහ ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය ණය ලබා ගන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් ඇය පැවසුවාය.

” හද කම්පා කරවන කරුණ නම් සාමාන්‍ය මිනිසුන්ට පාලනය කළ නොහැකි කරුණු කාරණා රැසක් මතුකරන අතර මේ මිනිසුන්ට ඔවුන් මින් පෙර මුහුණ නොදුන් අභියෝගවලට මුහුණ දීමට සිදුවීමයි ,” යැයි ඇය තවදුරටත් පැවසුවාය.

Related Articles