අධි සුඛෝපභෝගී මැලේසියාවේ හිටපු අගමැති නජීබ් දොළොස්  අවුරුද්දක්  හිරගෙට….

අධි සුඛෝපභෝගී මැලේසියාවේ හිටපු අගමැති නජීබ් දොළොස් අවුරුද්දක් හිරගෙට….

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් හට හිරගෙදරට යෑම හැර අන් විකල්පයක් ඉතිරිවී නැත. තම දඬුවම ප්‍රමාද කරන ලෙස නජීබ් කළ ඉල්ලීම ද අධිකරණය වෙතින් ප්‍රතික්ෂේප වී දැන් අභියාචනයද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා වසර 12 ක සිර දඬුවම වහාම ක්‍රියාත්මක වී ඇත.

දැන් හටනම හැවිරිදි නජීබ් රසාක් රජය සතු මලයාසියානු සංවර්ධන අරමුදල තමන්ගේ බුදලයක් ලෙස පරිහරණය කල බව උසාවියේදී හෙළිදරව් විය.

ඔහු 2020 ජූලි මාසයේදී වරදකරු වී මේ තාක් ඇප මත නිදහස්ව සිටියේය. රජය සතු සංවර්ධන අරමුදලින් 2020 දී, ඩොලර් මිලියන 9.4ක් හෙමින් සීරුවේ ඔහුගේ පුද්ගලික ගිණුම් වෙත මාරු කර ගෙන් ඇත. මේ සඳහා දඩය ඩොලර් මිලියන 46.8 කි.

නීතීඥයන් තර්ක කළේ නජීබ්ගේ ගිණුම්වල ඇති අරමුදල් රාජ්‍ය අරමුදලෙන් අයථා ලෙස පරිහරණය කිරීමක් නොව, සෞදි රජ පවුල විසින් පරිත්‍යාග කළ මුදල් බවට විශ්වාස කරමින් එය තම ගිණුමට හරවා ගත් බවයි.

මූල්‍ය උපදේශකයින් විසින් ඔහුව නොමඟ යවා ඇති බවත්, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සහ මැලේසියාවේ චෝදනා ලැබ එහෙත් තමන් නිර්දෝෂී යැයි පවසන පලාගිය මූල්‍ය සම්පාදකයකු වන ජෝ ලෝ ඊට මුල්ව ඇති බවත් හිටපු අගමැතිවරයා පවසයි.

අවසාන තුරුම්පුව ලෙසින් අගවිනිසුරු ටෙන්කු මයිමුන් තුවාන් මැට් විනිසුරු මඬුල්ලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

අගවිනිසුරුවරියගේ සැමියා නජීබ් විවේචනය කරමින් 2018 දී ෆේස්බුක් සටහනක් තබා ඇති බැවින් ඇය පක්ෂග්‍රාහී විය හැකැයි ඔහු පැවසුවත් ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණේ එම සටහන නජීබ්ට එරෙහිව චෝදනා එල්ල කිරීමට පෙර තැබූවක් බැවිනි.

සල්ලි දෙයියන්ගේ මල්ලි….

එවක අගමැති මහතීර් මොහොමඩ් පැවසුවේ නජීබ් මැලේසියාවේ දේශපාලන සහයෝගය පවත්වා ගැනීම සඳහා “මුදල් රජ” බව තමාට පැවසූ බවයි.

නජීබ්ට එරෙහිව විරුද්ධවාදීන් පැවසුවේ මුදල් වලට සියල්ල කළහැකි බව විදහා දක්වන “මුදල් රජ” වූ වාක්‍ය ඛණ්ඩය ඔහුගේ මුග්ධත්වයේ සහ දූෂණයේ සලකුණක් වන බවය.

නජීබ් ආරක්ෂක ඇමතිව සිටියදී 2002 දී මැලේසියාව විසින් ප්‍රංශ සබ්මැරීන මිලදී ගැනීම සම්බන්ධ දුෂණ වාර්තා විය. ප්‍රංශ සබ්මැරීන මිලදී ගැනීමේ ගනුදෙනුව තහවුරු කර ගැනීම සඳහා මැලේසියානු නිලධාරීන්ට විශාල මුදල් ලබා දුන් බවත් වාර්තා වූ නමුත් සියල්ල අධිකරණය වෙත වාර්තා වීමට ප්‍රමාද විය.

සාකච්ඡාවලට සම්බන්ධ මොන්ගෝලියානු කාන්තාවක් වන අල්තාන්යු ෂරිබු වෙඩි තබා ඝාතනය කරන ලද අතර ඇයගේ සිරුර ක්වාලාලම්පූර් අසලදී හමුදාව භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය වර්ගයක් යොදා පුපුරුවා හැර තිබුනි.

Related Articles