චීන  ඔත්තු  නැවේ අලකලංචිය…

චීන ඔත්තු නැවේ අලකලංචිය…

චීනයේ යුවාන් වෑන්ග් 5 පර්යේෂණ නෞකාව මේ වන විට ශ්‍රීලංකාව දෙසට ගමන් කරමින් සිටින බව වාර්තාවේ.

ජුලි 13 වැනිදා චීනයේ ජියැන්ජින් සිට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පිටත් වූ චීන ‘ඔත්තුකාර’ නෞකාව, පසුගිය දින තුන තුළ අවම වශයෙන් තුන් වතාවක් වත් එහි ධාවන පථය වෙනස් කොට ඇත. නෝර්වේ පදනම් කරගත් වාණිජ සමුද්‍ර බුද්ධි සමාගමක් වන මැරිටයිම් ඔප්ටිමා විසින් සටහන් කර ඇති යාත්‍රාවේ වත්මන් ධාවන පථයෙන් හෙළි වන්නේ YW5 යාත්‍රාව අගෝස්තු 11 වන විට හම්බන්තොට වරාය දෙසට ගමන් කළ බවයි. YW5 වරායේ සිට නාවික සැතපුම් 638 ක් පමණ දුරින් සිට ඇත.

“ඉන්දියාවේ ආරක්ෂාව සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම වර්ධනයක් රජය සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරන අතර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනී,” විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවන්ට පැවසීය.

මෙම යාත්‍රාවට හම්බන්තොට වරායට පැමිණිම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමැතිය ලබා දී ඇත්තේ විදේශ අමාත්‍යවරයා පවා දැනුවත් කිරීමෙන් තොරව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව රටවල් අතර අර්බූදයක් ඇතිවන මට්ටමට මෙම ප්‍රශ්නය දුරදිග යෑම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් වගකිව යුතු බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ පසුගිය ජුනි මස 28 වැනිදා යි. ඒ අනුව, එම නෞකාව ට ජූලි 12 වැනිදා හම්බන්තොට වරායට සේවා පහසුකම් ලබා ගැනීම සඳහා ඇතුළු වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.

කෙසේ වෙතත් එම අවසර නිකුත් කිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කර නැත.

ඒ ලද අවසරය අනුව මෙම නෞකාව ශ්‍රී ලංකාව බලා චීනයෙන් පිටත්ව ඇති අතර ඉන්දියාවෙන් එල්ල වන පීඩනය හමුවේ විදේශ කටයුතු අමාත්‍යංශය නැවතත් මෙම පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම දින කිහිපයකින් කල් දමන ලෙස පවසා ඇත්තේ එය දියත් කර දින 24 ක් මුහුදේ යාත්‍රා කිරීමෙන් ද පසුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

කෙසේ වෙතත්, ලබන 15 වැනි දා දක්වා හම්බන්තොට වරායට ඇතුළු වීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අදාළ නෞකාවට සිදුකළ දැනුම්දීම සමගින් එහි පර්යේෂණ කටයුතු සහ සේවා කටයුතුවල යෙදෙන 2,000කට ආසන්න පිරිසකට ආහාර සහ ජලය පවා අහිමි වීමේ අවදානමක් ඇති බවත් තව දින දෙකකින් චීනයේම නිෂ්පාදිත පී.එන්.එස් තයිමූර් (PNS Taimur) නැමති පාකිස්ථාන නාවික හමුදාවට අයත් මිසයිල දියත් කළ හැකි යුද නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිත බවත් මෙහිදී තවදුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

Related Articles