ශ්‍රී ලංකාවේ  ගුවන් හමුදාවට  එක්සත් ජාතීන්ගේ ප්‍රශංසා…

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවට එක්සත් ජාතීන්ගේ ප්‍රශංසා…

මධ්‍යම අප්‍රිකාවේ ක්‍රියාත්මක ඒකාබද්ධ එක්සත් ජාතීන්ගේ ස්ථායීකරණ මෙහෙයුමේ බලසේනා අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩිකි ට්‍රෝරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත තම ප්‍රශංසාව පල කොට ඇත.

මීට දින කීපයකට පෙර(2022 ජූනි 17 වන දින) මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සමාජ වෙනස සඳහාවූදේශප්‍රේමින් ඉතා දැඩි ලෙස සන්නද්ධව Ouanda -Djale JALLE නගරයට ප්‍රහාරයක් එල්ල කරමින් නගරය අත්පත් කරගත් අතර නගරවාසීන් වනගහනය වෙත පලවා හැරියහ.

මේ අවස්ථාවේදී සාම සාධක මෙහෙයුමක නිරතව සිටි බල ඇණි අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් රසාංග විජේවර්ධන ඇතුළු පිරිසට ඉක්මන් තීරණයක් ගැනීමට සිදුවිය.

දරුණු වෙඩි ප්‍රහාර එල්ල කරන කැරලිකරුවන් ගෙන් නගරය බේරා ගැනීම සඳහා ගුවන් මෙහෙයුමක් දියත් කිරීමට තීරණය විය.

සන්නද්ධ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා කැරලිකරුවන් පලවා හැරීමේ මෙහෙයුමට දැඩි ප්‍රහාර එල්ලවුවත් උපක්‍රමශීලී ලෙස ගොඩබිම් සහයක සේනා හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් කැරලිකරුවන්ගෙන් නගරය මුදා ගැනීමට හැකි විය.

කැරලිකරුවන් විසිර ගිය අතර පලාගිය නගර වැසියන් යලිත් පැමිණෙමින් සිටිති. ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා මෙහෙයුම හේතුවෙන් සිවිල් ජනතාව අතරේ සාම සාධක මෙහෙයුම පිළිබඳව විශ්වාසයක් ගොඩනැගී ඇති බව වාර්තාකරුවන් පවසති.

එක්සත් ජාතීන්ගේ බලසේනාධිපති ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩිකි ට්‍රෝරේ අධි අවදානම් තත්වයක සිදුවූ මෙම ක්‍රියාන්විතය පිළබඳව පැවසුවේ මෙය ධෛර්ය සම්පන්න, නිර්භීත සහ අසාමාන්‍ය ධෛර්ය සම්පන්න බවක් පෙන්නුම් කල මෙහෙයුමක් බවයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා පිටත්ව යන භට පිරිස් මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලක් ජාතික භාණ්ඩාගාරයට ප්‍රේෂණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මධ්‍යම අප්‍රිකාවේ හිටපු ජනාධිපති François Bozizé Yangouvonda 2013 ජනාධිපතිවරණය කඩාකප්පල් කොට කර්ල්කර්වන් පිරිසක් හා එක්ව සමාජ වෙනස සඳහාවූ දේශප්‍රේමින් ව්‍යපාරය පිහිටුවා ගත් අතර මෑතකදී ඔවුන්ගේ සන්නද්ධ ක්‍රියාකාරකම් වැඩිවී ඇත.

Related Articles