මානව හිමිකම් අභියෝග

මානව හිමිකම් අභියෝග

ශ්‍රී ලංකාව මේ මොහොතේ ඉතා බැරෑරුම් මානව හිමිකම් අභියෝග වලට මුහුන දෙමින් සිටින බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පෙන්වා දෙයි

1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ. 2021 මැයි මාසයේ පැවැත්වීමට නියමිත වූ පලාත් පාලන මැතිවරණ දින නියමයකින් තොරව කල් දමා එම ආයතනයන්හි බලය මහජන නියෝජිතයින් වෙනුවට නිලධාරීන්ට පවරා තිබේ. තවද මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට යම් මට්ටමක විසඳුමක් ලෙස ඇති කරන ලද පලාත් සභා ක්‍රමය, එකී මැතිවරණ දිගින් දිගටම කල් දැමීම මගින් අත්හිටුවා තිබේ. ජනාධිපති රනිල් රාජපක්ෂ කටයුතු කරන්නේ මැතිවරණ කොමිසම යනු ස්වකීය අතකොළුවක් ලෙස සලකමිනි.

2. අන් සියලු අයිතීන්හි පදනම වන සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීම අරමුණු කර ගත් මාර්ගගත ආකර්ෂණ පනත සහ විකාශන අධිකාරී පනත යන බිය ජනක පනත් කෙටුම්පත් දෙකක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර සම්මත කිරීමට සූදානම් වෙයි. රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙන ආ තවත් පනත් කෙටුම්පත් ගණනාවක ද මාධ්‍ය මර්දනය ඇතුල් කර තිබේ. එමෙන්ම මානව හිමිකම් සුරැකීමට පිහිටුවන ලද “සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය” ප්‍රකාශන නිදහස මැඩලීමේ මෙවළමක් බවට පත් කර තිබේ.

3. යුද්ධ කාලීන මානව හිමිකම් කෙලෙසීම් ආමන්ත්‍රණය කිරීම පිණිස දියත් කරන ලද සංක්‍රමනීය යුක්ති ක්‍රියා දාමය අතහැර දමා දේශපාලන බලපෑමට යටත් ව්‍යාජ සංහිඳියා කොමිසමක් පිහිටුවා යලිත් වරක් වින්දිත ප්‍රජාව මුලා කිරීමට ආණ්ඩුව කටයුතු කර ගෙන යයි. ඒ අරභයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ ඇති කර ගත් එකඟතා කුණූ කුඩයට දමා තිබේ.

4. දේශීය සහ අන්තර්ජාතික වශයෙන් උග්‍ර විවේචනයකට ලක් වූ සහ එය සංශෝධනය කරන තුරු භාවිතා කිරීම අත්හිටවන බවට ලංකාණ්ඩුව එක්සත් ජාතීන් වෙත පොරොන්දු වූ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යළි මර්දන මෙවළමක් ලෙස පාවිච්චියට ගැනීම ආරම්භ කර තිබේ.

5. විවිධාකාර මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනාවන්ට ලක්ව සිටින සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ද වගකිය යුතු දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් නීතියේ ආධිපත්‍යයට මරු පහරක් එල්ල කර තිබේ. පොලිස් බලය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට සහ සුලුතර ප්‍රජාවන්ට එරෙහිව අයුතු ලෙස යෙදවීම දැන් සාමාන්‍ය නීතිය බවට පත්ව තිබේ.

6. සිංහල මහා ජාතික දේශපාලනය තහවුරු කරමින් දෙමළ සහ මුස්ලිම් ජනයා මත විශම සැලකීමක් තහවුරු කරමින් තිබේ. දෙමළ ජනයාගේ අනුස්මරණය කිරීමේ අයිතිය පවා මර්දනය කරමින් බිය ගැන්වීමේ මර්දන දේශපාලනයක් දියත් කර ඇත.

7. ආරක්ෂක වියදම් එන්න එන්නම ඉහළ නංවන රජය ජනතාවගේ එදිනෙදා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වන පොදු ප්‍රවාහණය, නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය නොසළකා හරිමින් තිබේ. සෞඛ්‍ය සේවයේ ඔඩු දුවා ඇති ප්‍රශ්න වලට විසඳුමක් දීමට රජය උත්සාහ කරන්නේවත් නැත. එමෙන්ම කොවිඩ් වසංගත සමයෙහි සිට උග්‍ර වන අධ්‍යාපන සේවය සම්බන්ධයෙන් ද නිසි සැළකීමක් නැත.

8. වැඩ කරන ජනයා මත එන්න එන්නම බදු බර සහ ජීවන බර පටවන රනිල් රාජපක්ෂ ආණ්ඩුව කම්කරු අයිතීන් මර්දනය කිරීම පිනිස නීති ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුව සැලසුම් කරයි.

9. පොදු මහා ජනයාගේ ජීවන තත්වය නරක අතට පත් කරමින්, විවිධාකාර බදු බර මහා ජනයා වෙත පටවමින් මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ජන පීඩක ආර්ථික ප්‍රතිපත්ති ගිවිසුම ක්‍රියාවට නංවමින් තිබේ.

10. විධායක ජනාධිපති බලය අවභාවිත කරමින්. ව්‍යවස්ථා සභාව මෙන්ම පාර්ලිමේන්තුව ද මැතිවරණ කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා ද මඟ හැර සුජාත බලයක් නැති ජනාධිපති රනිල් රාජපක්ෂ ඒකාධිපති වෙස් ගනිමින් තිබේ.

Related Articles