කුරුඳු තලන්නා

කුරුඳු තලන්නා

කුරුඳු වාදේ” කියවං යද්දි මීට අවුරුදු හය හතකට කලිං මං පරිවර්තනය කරපු ඔන්ඩච්ච්ගේ කවියක් මතක් උණා.
1982 දී Running in the family කෘතියේ මුල්වරට පළ වූ Cinnomen Peeler නමැති මයිකල් ඔන්ඩච්චිගේ මේ කව 1984දී ඔහු පළ කළ Secular Love කෘතියේ නැවත පළ වුණා.
ලෝ පුරා විචාරක පාඨක අවධානය දිනා ගත් මේ කව කවියාගේ පෞද්ගලික ජීවිතේ අද්දැකීමක් ඔහුගේ උපන් බිම වූ, ශ්රී ලංකාව හෙවත් කුරුඳු දිවයිනේ ගැමි කුරුඳු සංස්කෘතියක පිහිටුවා ලියා ඇත.ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්
********************************************
Sinhala translation of Michael Ondaatje’s poem, “The Cinnamon Peeler”
කුරුඳු තලන්නා
~~~~~~~~~~~~
කුරුඳු තලනෙක් වුණා නම් මම
නුඹේ ඇඳමත ලැගුම් ලා සිට
තබා යන්නෙමි මගේ සලකුණු
කහ පැහැති ඒ කුරුඳු දූවිලි
ඔබ නිදන ඒ කොට්ටඋර මත
ඔබේ දෙතනද ඔබේ දෙවුරද
මගේ සුවඳින් පෙඟී යනවිට
ඔබට බැරිවෙයි ඇවිද යන්නට
විථිවල කඩමංඩි අද්දර
ඔබට සිදුවෙයි අරන් යන්නට
මගේ අතැගිලි ඔබත් එක්කම
ඔබේ සියළඟ දඟකරද්දිම
දෑස් අඳවුව කෙනෙක් නිසැකව
හඳුන ගනු ඇත ඈත සිටදීම
මෝසමේ වැහි පීල්ලක් යට
දොවා ගත්තද ඔබේ තුණු වත
ඔබේ වටෝරේ සිනිඳු තැන්වල
අසල පෙදෙසේ වසාරොදවල
ඔබේ පසුපස වකගැසුණු තැන
වළලුකරවල පා යුගල මත
පුරා පැතිරුණු කුරුඳු සුවඳින
නොහඳුනන අය හඳුන ගනු ඇත
කුරුඳු තලනගේ ඇඹනි බව ඔබ
බලනු බැරි වෙයි ඇසක් ඇර මට
ඔබේ වත දෙස කසාදෙට පෙර
පිරිමදින්නට ඒ සිනිඳු වත
ඒක නම් කොහොමටත් බැහැ මට
දොවා ගමි මම මගේ අත්දෙක
කහදියරවල රවට්ටන්නට
සුවඳ ඉව ඇති මෑණියන්දෑ
නාහේ නොඉවසන දෙබෑයා
මගේ අත්වල බීඩි ගඳහෙම
එයාලව තව රවට්ටනු ඇත
පැණි කඩන්නට කෝමටත් මට
මගේ අත් දෙක උදව් වනු ඇත
වරක් අපි දියනාන විටක දි
දිය යට දි මම නිදහසේ විත්
ඔබේ සිරුරේ පහස වින්දෙමි
ඔබත් මාගේ සිරුර විඳ විඳ
මගේ සුවඳින් මත්වුණා නෙව
කෙළිය අවසන
ඉවුර මත සිට
ඔබ කීවා මට
තව ම මතක ය
“මෙහෙම වෙන්ටැති අතගාන්නෙ
අනෙක් ගෑණුත් ආල කොර කොර
උයන් පල්ලගේ මායියාහෙම
හුණු වඩුගෙ අර දූ සිරික්කිය”
ඒත් එක්කම ඔබේ අත්දෙක
මුවවිටට ගෙන සොයා බලමින්
ඉතිරි වුණු ඒ සුවඳ ඇතිව ද
පසක් කෙරුවා තව ම මතක ය
පලක් වෙ ද කිසි දුවක් වී මම
හුණුවඩුන් පිය තනතුරට ගෙන
නික්ම ගිය ලකුණකුදු නැතිව ම
වචන නැතුව ම ආදරේ කළ
කැළල්ලක සතුටක් නොමැති වුව
සිනිදු තුණු ඇඟ පාරවා ගෙන
වියළි සුළඟක් හමා යන විට
මගේ අත්දෙක හෙමින් අරගෙන
තබාගෙන ඒ ඔබේ කුස මත
සිහින් හඬකින් පැවසුවා නුඹ
“කුරුඳු තලන්නගෙ බිරිය වෙමි මම
ඉතිං යෙහෙකිය සිපගන්න මා මුව”
~මයිකල් ඔන්ඩච්චි
පරි: ක්රිශාන්ත ෆෙඩ්රික්ස්
ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්

Related Articles