කොසු මිටෙන්, විකට් පොල්ලෙන් පහර කා මියගිය දරුශාන්

කොසු මිටෙන්, විකට් පොල්ලෙන් පහර කා මියගිය දරුශාන්

ආනන්ද දේවගේ දරුශාන් දරුවා දැන් ජීවතුන් අතර නොමැත.එහෙත් මරණය කළු පල්ලම් රැසක් ඉතිරි කොට ඇත. අධිකරණය මගින් පරිවාසභාරයට පත්කර සිටි 14 හැවිරිදි ආනන්ද දේවගේ දරුශාන් ගේ මරණය නීතිය ක්රියාත්මක කරන අයවළුන් දරුවන්ට සලකන ආකාරය ගැන ප්‍රශ්න ගනනාවක්ම මතු කරයි .

“මගේ දරුවටයි පුසාරිටයි මාංචු දාලා බිම දණ ගස්සලා තියලා තියෙන්නේ පොලිසිය අත් අඩංගුවට ගත්ත අයට සලකන්නේ මෙහෙමද?”මියගිය දරුවාගේ පියාවන නාරයන ආනන්ද දේව ප්‍රශ්න කරයි .

අම්පාරේ ළමා නිවාසයක් තුළදී මරණයට පත් වන ආනන්ද දේවගේ දරුශාන් ඌරනී සරස්වති විදුහලේ හත වසර දක්වා පාසැල් ගිය නමුත් කොරෝනාවෙන් පසු පාසැල් ගමන නතර කළේය. කොරෝනා වසංගත සමයෙන් පසු ඔහු පාසැල් ගමන අත්හැර කොකුවිල් පත්තිනි දේවාලයේ වැඩ කටයුතු සඳහා සහය වීමට ගොස් තිබේ.

දරුශාන් සේවය කළ පත්තිනි දේවාලය ඔහුගේ නිවසේ සිට කිලෝමිටරයක් දුරින් පිහිටා තිබේ.එම දේවාලය ආසන්නයේම ගණදෙවි කෝවිලක් ද පිහිටා තිබේ. ගණ දෙවි කෝවිලේ පුසාරිවරයා විසින් භාවිතා කරනු ලබන සීනුවක් සහ කපුරු දමන පිත්තල භාජනයක් සොරකම් කළ බවට චෝදනා කරමින් කොකුවිල් පොලීසිය මගින් පත්තිනි දේවාලයේ පුසාරිවරයා සහ සහ දරුශාන් දරුවා ඉකුත් නොවැම්බර් 16 වැනිදා අත් අඩංගුවට ගෙන තිබේ.

නොවැම්බර් 17 වැනිදා මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, පුසාරිවරයා රුපියල් 50,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇති නමුත් අතර දරුශාන් කල්මුනේ පරිවාස සහ ළමා රක්ෂක දෙපාර්මේන්තුවේ රඳවන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.

දිනපතාම පත්තිනි දේවාලයට යන දරුශාන් සවස නිවසට පැමිණෙන බව පියා පවසයි. පියා රැකියාව වශයෙන් කරදියනාරු ප්රදේශයේ ගල් කොරියක් භාරව සේවයේ නිරත වි සිටියි. ඔහු නිවසට පැමිණෙන්නේ දින දහයකට පසුවය.

කල්මුනේ ඉස්ලාම්බාද් පිහිටා ඇති පරිවාස සහ ළමාරක්ෂණ අධිකාරියේ ළමා නිවාසයේ පාලිකාව දැන් අත් අඩංගුවේය.විකට් පොල්ලකින් හා කොසු මිටකින් දරුවාට පහරදුන් බව විමර්ශන නිලධාරීන් මාධ්‍යට පවසා තිබේ.

“මේ ළමා නිවාසයේදි දරුවට ගහලා තියෙනවා. මරණ පරීක්ෂණයේදි මම ඒක දැන ගත්තා එයාගේ කොන්දට ගොඩක් හානිවෙලා තියෙනවා.”ආනන්ද දේව කියා සිටියේය.

“මගේ දරුවට කොකුවිල් පොලිසියෙන් අසාධාරණයක් වුණා.මගේ පුතා පොලිසියට අරන් ගියාම මගේ නෝනා ගිහින් පොලිසියට බැනලා තියෙනවා ඒයා මානසික රෝගියෙක්. පස්සේ කොකුවිල් පොලිසියේ ස්ථානාධිපතිතුමා මගේ නෝනට ගහලා පන්නලා තියෙනවා. ඒ වගේම දරුවෙක් අත් අඩංගුවට ගත්තට පස්සේ වෛද්යවරයෙකුට දාලා තමයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ. මගේ දරුවා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ වෛද්ය වාර්තා නැතිව මගේ දරුවා වෙද්යවරයෙකුට පෙන්නලා නැහැ.පොලිසිය ඇතුළේදි දරුවාට සලකලා තියෙන්නේ අමානුෂික විදියට.මගේ දරුවටයි පුසාරිටයි මාංචු දාලා බිම දණ ගස්සලා තියලා තියෙන්නේ පොලිසිය අත් අඩංගුවට ගත්ත අයට සලකන්නේ මෙහෙමද? දැන් මගේ දරුවට ආයෙත් පණ එන්නේ නැහැ. නමුත් අනිත් දරුවන්ට මෙහෙම දෙයක් වෙන්න දෙන්න එපා කියලා තමයි මම ඉල්ලන්නේ.” ඔහු අවධාරණය කළේය.

“අපි දරුවාගේ දේහය පොලිසිය ළඟට අරන් ගිහින් විරෝධය පෑවේ ඒක නිසා” යැයි හැඬු කදුලින් ඔහු පැවසීය.

මෙම දරුවාගේ මරණය පිළිබදව මඩකලපුව ප්රදේශය භාර ජ්යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු ගෙන් බීබීසී සිංහල විමසීමක් කරනු ලැබිය. එහිදී එම නිලධාරියා පැවසුවේ “මෙම දරුවා පොලිසියෙන් අත් අඩංගුවට ගත්තේ නැහැ. ගමේ අය තමයි පොලිසියට ගෙනල්ලා දිලා තියෙන්නේ. ඒ අනුව තමයි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.මේ පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා නම් පැමිණිලි කරන්න කියලා මම පවුලේ අයට කිව්වා නමුත් එහෙම පැමිණිල්ලක් නැහැ.”

“මෙම දරුවා බාල වයස්කාර දරුවෙක් ඒ දරුවා වැඩිහිටියෙක් සමග එකට මංචු දාලා පොලිසියේ දණ ගස්සලා තියෙනවා” යනුවෙන් බීබීසී සිංහල එම පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පැවසුවේ “එහෙම එකක් මට වාර්තා උනේ නැහැ” යනුවෙනි.

“කිසිම අවස්ථාවක ළමයෙකුට එහෙම කරන්න බැහැ එහෙම කරලා තියෙනවා නම් ඒක වැරදියි. මම ඒ පිළිබඳව වහාම සොයා බලනවා” යැයි මේ පිළිබඳව මඩකලපුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් බීබීසී සිංහල කළ විමසුමට ප්රතිචාර ලෙස ඔහු පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණ ය :

මෙම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්ය කමල් බණ්ඩාර විසින්ය. දරුවාගේ සිරුරේ විශාල තැලුම් ප්රමාණයක් ඇති බවත් මෙම මරණය මොට ආයුධයකින් පහරදීමක් නිසා සිදුවී ඇති බවත් පටක පරීක්ෂණයකින් පසුව අවසන් තීන්දුව ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්මේන්තුව ,පොලීසිය සහ ළමා සහ කාන්තා කාර්යංශය වැනි ආයතන තමන්ගේ වගකීම් ඉටු කොට තිබේද යන්න විමසියි යුතුව තිබේ

Related Articles