ජාත්‍යන්තර  සාහිත්‍ය උළෙල ගාල්ලේ

ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල ගාල්ලේ

ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වසර කිහිපයක නිහඬතාවයෙන් පසු මෙම වසරේ පැවැත්වීම සතුටට කරුණකි. ජනවාරි 25 – 28 දිනයන් හිදී පරිදි ගාලු කොටුව ආශ්‍රිතව පැවැත්වෙන මෙම සාහිත්‍ය උළෙල ජාත්‍යන්තර මට්ටමේ සාහිත්‍යකරුවන්, ශාස්ත්‍රඥයින්, ජනමාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් මෙරටට ගෙන්වාන උත්සවයකි. ලෝක සහ කලාපීය සාහිත්‍යය මෙන්ම ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය සංස්කෘතිය පිළිබඳව මෙහිදී සංවාද පැවැත්වේ.

සම්භාවනාවට පාත්‍ර වූවන්

මෙවර ගාලු සාහිත්‍ය උළෙලට සම්බන්ධ වන සම්භාවනාවට පාත්‍ර වූ නවකතාකරුවන්, කවියන්, ප්‍රබන්ධ නොවන ශානරයන්ගේ ලේඛකයන්, මාධ්‍යවේදීන් සහ ශාස්ත්‍රඥයන් අතර ශෂී තරූර්, සෙබස්තියන් ෆෝක්ස්, රොමේෂ් ගුණසේකර, ෂෙහාන් කරුණාතිලක, ඩීබීසී පියේර්, නයෝමි මුණවීර, ගයි ගුණරත්න, අමීනා හුසේන්, සුජිත් සිවසුන්දරම්, ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත්, ක්‍රිස්ටිනා ලෑම්බ්, ජගත් වීරසිංහ, අමන්දා ජයතිස්ස, නෙලූෆර් ද මෙල් වැනි සුවිශේෂී පිරිසකගේ නම් දැකිය හැකිය.

ප්‍රබන්ධ රචනය සම්බන්ධ වැඩමුළු, පොත් එලිදැක්වීම්, ලේඛකයන් සමඟ දිවා හා රාත්‍රී භෝජන සංග්‍රහ, කාව්‍ය ඉදිරිපත් කිරීම්, සංවාද, සංගීත හා නාට්‍යමය අත්දැකීම්, දෘශ්‍ය කලා ප්‍රදර්ශන, සූපවේදී ඉදිරිපත් කිරීම් යනාදියෙන් පිරිපුන් මෙවර ගාලු සාහිත්‍ය උළෙල වින්දනාත්මක හා බුද්ධිමය අත්දැකීමක් වනු ඇත.

අරක්කු රසවිඳීම:

උළෙලේ ඇතැම් වැඩසටහන් වල ප්‍රවේශ පත් මේ වන විටත් ව්කිණී අවසන්ව තිබේ. එවැනි අතිශය ජනප්‍රිය අංග අතර බුකර් සම්මානයට පාත්‍ර වූ ලාංකීය නවකතාකරු ෂෙහාන් කරුණාතිලක, සූපවේදී කරන් ගොකානි සහ අමල් ද සිල්වා විජේරත්න එක්ව ‘ලංකාවට සුවිශේෂී මත්පැන්’ පිළිබඳ සිදු කරන කතාබහ සමග රාත්‍රී භෝජනය සහ අරක්කු රසවිඳීම (Arrack Tasting), අමීනා හුසේන් ගේ ඉබන් බතූතා කෘතිය පිළිබඳ සාකච්ඡාව, ඒ.සී. ග්‍රේලිංග් ඔහුගේ ‘දර්ශනය සහ ජීවිතය’ කෘතිය ඇසුරෙන් කරන දේශන පැවත්වෙන බව බී බී සි වාර්තා කරයි .

පසුගිය වසරේ ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූ චිරන්ති රාජපක්ෂ ගාලු සාහිත්‍ය උළෙල ගැන අප සමග අදහස් දක්වමින් කියා සිටියේ “ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් අතර මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ගාලු සාහිත්‍ය උළෙල අතිශය වැදගත් අවස්ථාවක් ලංකාවේ සාහිත්‍යකරුවන්ට ලබා දෙනවා. මට විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි පාඨකයන් මුණගැසීමට ලැබෙන අවස්ථාව. ලේඛකයෙක් හැටියට ඒක මම සෑහෙන විඳින දෙයක්” යනුවෙනි.

මේ අතර ළමා සාහිත්‍ය වෙනුවෙන් වෙන් වූ විශේෂ වැඩසටහන් මාලාවක් ජනවාරි 27 වන දා තෝමස් ගෝල් පාසැලේ දී පැවැත්වෙන අතර කිරන් මිල්වුඩ් හාග්‍රේව්, හිස්රානා ෆරූක් ඇතුළු ප්‍රකට ළමා සාහිත්‍යවේදීන් විසින් මෙහෙය වන මෙම වැඩසටහන් අවුරුදු 2-5 දක්වා දරුවන්ගේ සිට 12 න් ඉහළ දරුවන් දක්වා සහභාගී විය හැකි ලෙස විවිධාංගීකරණයෙන් යුක්ත වේ.

තවත් සුවිශේෂී කරුණක් වන්නේ සාහිත්‍යයට සමගාමීව දිගහැරෙන දෘශ්‍ය කලා ධාරාවේ වැඩසටහන් මාලාවයි. ජගත් වීරසිංහ, චන්න දාස්වත්ත, ෆැබියෙන් ෆ්‍රැන්කෝට්, විනීට් වොහ්රා වැනි විශිෂ්ට දෘශ්‍ය කලාවේදීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩමුළු, ප්‍රදර්ශන, සජීවී අත්දැකීම් සහ සංවාද ආදියෙන් මෙය සමන්විතය.

‘මේක ලෝකය පුරා සිටින ලේඛකයන්ට හා කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක්’

“මේක ලෝකය පුරා සිටින ලේඛකයන්ට හා කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක් වගේම ලාංකීය සාහිත්‍ය හා කලාකරුවන්ට තමන්ගේ දක්ෂතා පෙන්වීමට ලැබෙන මහඟු අවස්ථාවක්. කොවිඩ් වසංගතයෙන් පස්සේ වසර හතරක් විතර මූල්‍යමය හා වෙනත් අපහසුතා නිසා පැවැත්වීමට නොහැකි වූ මෙම උළෙල මෙවර නැවත පැවැත්වීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. ඒවගේම මේක ඉදිරියේ දී තවත් වර්ධනය විය යුතුයි. ජාත්‍යන්තර සාහිත්‍ය කලා අත්දැකීම් ලංකාවට ගෙන ඒමට වගේම ලාංකීය සාහිත්‍ය කලාවන් ලෝකය වෙත ගෙන යාමට මෙම උළෙලට අනාගතයේ දී තවත් හැකියාව ලැබෙයි කියල මම විශ්වාස කරනවා.” ගාලු සාහිත්‍ය උළෙලේ පුරෝගාමී කමිටු සාමාජිකාවක් සහ ප්‍රකට ලේඛිකාවක වන අමීනා හුසේන් බීබීසී සිංහල සමග කියා සිටියාය.

කලාපීයවත් ගෝලීයවත් සාහිත්‍ය උළෙල අතර තම අනන්‍යතාව සලකුණු කිරීමට සමත් වී ඇති ගාලු සාහිත්‍ය උළෙල සාහිත්‍ය කලා රසිකයන් හට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

Related Articles