නව ඩිජිටල් ක්‍රමයේ සැඟවුන අරමුණ

නව ඩිජිටල් ක්‍රමයේ සැඟවුන අරමුණ

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මොරිෂස් දුපත් අතර ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI හෙවත් (ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත) මගින් දැන් ඩිජිටල් මාධ්‍ය හරහා ගෙවීම් සිදුකල හැකිය .

ඩිජිටල් මාධ්‍ය හරහා ගෙවීම් කිරීමේ ක්‍රමයවේදය අද (පෙබරවාරි 12 වැනිදා) හඳුන්වා දෙනු ලැබුණි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට සිය ගනුදෙනු වලදී QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම තුලින් සංචාරක ව්‍යපාරය ප්‍රවර්ධනය කිරීම එක අරමුණකි .

දේශපාලනික වශයෙන් ඉන්දියාව සහ මාලදිවයින අතර ඇතිව තිබෙන විරසකය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ මොරිෂියස් දුපත් වල සංචාරක ව්‍යපාරය ශක්තිමත් කොට චීනය සහ මාලදිවයින අතර අතර ඇති වෙමින් තිබෙන සම්බන්ධය අභියෝගයට ලක්කිරීම මෙහි සැඟවුන අරමුණක් බව විචාරකයෝ පෙන්වා දෙති .

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් පසුගියදා පැවසුවේ ඉන්දීය සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට යායුතු බවයි .

ඉන්දීය ජාතිකයින්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මොරිෂස්හි අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මාර්ගගත ක්‍රමය ඔස්සේ, මෙම ගෙවීම් කිරීමේ ක්‍රමයවේදය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

මෙම ක්‍රමය ඔස්සේ කිසිදු ගැටලුවකින් තොරව මෙරටදී පහසුවෙන් සිය ගනුදෙනු කිරිමට ඉන්දීය ජාතිකයින්ට අවස්ථාව උදාවේ.

“ගෙවුණු අවුරුද්දේ ඉන්දියාවේ ඉදලා ලංකාවට සංචාරකයින් ලක්ෂ 03ක් ඇවිත් තියෙනවා. එහෙම එන අයට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව තමන්ගේ ජංගම දුරකථනයේ තියෙන ඇප් එකෙන් ලංකාවේ ගනුදෙනු කරන්න.”  Lankapay ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක චන්න ද සිල්වා පැවසීය.

වෙළෙඳ එකඟතාවකට

NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරෙන අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව මෙහිදී අනාවරණය කෙරිණි.

තම ගිණුම අයත් මූල්‍ය ආයතනය හා සම්බන්ධ වී වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සියලුම බැංකු හා මූල්‍ය ආයතන එම කේතය නිකුත් කිරීමට බැඳී සිටින බවද ඒ ඔහු අවධාරණය කළේය.

බොහෝ ඉන්දියානුවන් QR කේත ගෙවීම්වලට පුරුදු වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිටින අතර ඔවුන්ට මෙරටදී වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකි වේ.

මෙහි දෙවැනි අදියරේදී මෙම ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේදී මේ ආකාරයෙන් QR කේතය හරහා ගෙවීම් කිරීමේ පහසුකම ලබා දීමට අපේක්ෂා කෙරේ.

UPI ගෙවීම් හරහා ලංකාවට ලැබෙන වාසි
මෙම UPI ගෙවීම් ක්‍රමය මගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි බීබීසී සිංහල සේවය විසින් සොයා බැලීමක් කරන ලදි.

නව ගෙවීම් ක්‍රමවේදය හරහා රටට විදේශ විනිමය ලැබීම හා ඒ හා සමානව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බැංකු හරහා ගනුදෙනු කිරිම මගින් වාසි හිමිවේ.

“ලංකාවට එන ඉන්දීය සංචාරකයෙක්ට අවශ්‍යතාවයක් උද්ගත වෙන්නේ නැහැ ඔහුට ඉන්දියාවේ මුදල් ඩොලර් වලට හරි ලංකාවේ රුපියල් වලට මාරු කරන්න”

“ඒ ඉන්දීය සංචාරකයාට තමන් ලබා ගන්නා සේවාවට හෝ භාණ්ඩයට කෙලින්ම මුදල් ගෙවන්න පුළුවන් මේ QR කේතය හරහා.”

“අනෙක් පැත්තෙන් ගත්තම අපේ රටේ මිලියන 05 කට ආසන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ඉන්නවා. එතකොට ඔවුන්ට පුළුවන් මේ හරහා බැංකු පද්ධතිය එක්ක ගණුදෙනු කරන්න.”

“ඒක ඒ ව්‍යාපාරිකයින්ට උපකාරයක් වෙනවා මාස 06ක් වගේ කාලයක් යද්දී බැංකු ණයක් වුනත් ඉල්ලුම් කරන්න. මොකද අද වෙද්දී බැංකු ණයක් ගන්න අමාරුයි සුළු ව්‍යාපාරිකයින්ට.” LankaPay ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක චන්න ද සිල්වා කියා සිටියේය.

“දැක්ම ප්‍රකාශය”

මේ අතර ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) ඔස්සේ ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමයවේදය හඳුන්වා දීමේ වැඩසටහනට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ සිය ඉන්දීය නිල සංචාරයේදී එළිදක්වන ලද  අනුව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ගෙවීම් ක්‍රමය හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාවේ තමිල්නාඩු හා මුම්බායි සමඟ සම්බන්ධව වන බවයි.

මෙම ක්‍රමය හරහා ව්‍යාපාරිකයින් ලක්ෂ 04 කට පමණ ප්‍රතිලාභ සැලසෙන බවද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවති සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

 

Related Articles