ලෝක කුසලාන ක්‍රීඩකයෝ සමාව ඉල්ලා සිටිති

ලෝක කුසලාන ක්‍රීඩකයෝ සමාව ඉල්ලා සිටිති

ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ලෝක කුසලාන එක්දින තරගාවලියක් සඳහා සහභාගී වීමට තවත් වසර 04ක කාලයක් බලා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන් ගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

‘ඉන්දියාව සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු බලපෑමක් එල්ල වූයේ නැති බවයි කණ්ඩායම පැවසුවේ. ඉන්දීය කණ්ඩායම ප්‍රබල තැනක සිටින බවයි කුසල් මෙන්ඩිස් පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් “මෙවර ලෝක කුසලාන තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කිරීමට නොහැකිවීම ගැන සියලු ප්‍රේක්ෂකයින් ගෙන් සමාව අයදිනවා.” යැයි පැවසීය

“ඉන්දියාවත් සමග තරගයේ දෙවන ඉනිමේදී තණ තීරුවේ ඇතිවූ වෙනසකමත් සමග පන්දුවට පහරදීමට අපට අපහසු වුණා.

ක්‍රිකට් ක්‍රීඩාවේදී ලකුණු 50, 100ට හෝ ලකුණු 200 කට දැවී යන බවට සිතා ක්‍රීඩා කරන්න බැහැ.” ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන කියා සිටියේ මේ තරගාවලියේදී අපිට බලපෑ ප්‍රධානම හේතුව ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය බවයි. අපේ ප්‍රධාන පන්දු යවන්නන් 05 දෙනා මාස 16 කින් එකට එක් තරගයක් ක්‍රීඩා කරලා නැහැ.”

“ඒ වගේම මේ තරගාවලියේදී පළමු කණ්ඩායම් 6-7 අතරට එයි කියලා පෞද්ගලිකව හිතුවා. නමුත් එහෙම වුනේ නැහැ.”

“ඒ වගේම ලෝක කුසලාන තරගාවලියේදී අපේ ක්‍රීඩකයින් අතින් යම් අඩු පාඩු සිද්ධ වුණා. ඒ අඩු පාඩු මගහරවා ගන්න දිගටම ක්‍රීඩා කරන්න අවශ්‍යයි.”

මෙහිදී ඉන්දියාව සමග වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගුවේය.

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන පැවසුවේ වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පළමුවෙන් පන්දුවට පහරදීමට සැලසුම් කර තිබුණද රාත්‍රී කාලයේ පින්න ඇතිවීම නිසා දෙවන අවස්ථාවේදී පන්දුවට පහරදීමට තීරණය කළ බවයි.

“එදා තරගයේදී රෝහිත් දෙවැනි පන්දුවේදී දැවී ගියා. මොකද ඔහුත් පුදුම වුණා තණ තීරුව හැසිරුණු ආකාරය ගැන.”

“එම තරගයේදී උඩ පන්දු දෙකක් ගිලිහුණා. පළමු පන්දු වාර 10 යේදී ඔවුන් පන්දුවේ දෝලනයත් එක්ක පරිස්සම් වුණා. නමුත් අර උඩ පන්දු දෙකත් අල්ලලා ඉන්දියාව ලකුණු 250 කට සීමා කර ගන්න හැකිවුණා නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.” ඔහු කියා සිටියේය.

මේ අතර ඉන්දියාව සමග පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය නොකිරීම පිළිබඳ තමන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු එල්ල කළ චෝදනාව ගැන ද මහේල ජයවර්ධන අදහස් දක්වා සිටියේය.

ඔහු පැවසුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ හිදිමින් මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් පිළිතුරු දීමට කටයුතු නොකරන බවයි.

“ලෝකයේ පුහුණුකරුවන් වෙනුවෙන් ගෙවන වැටුප් ප්‍රමාණයක් තිබෙනවා. යයි මහේල පැවසීය.

“ජාත්‍යන්තර කණ්ඩායම් සමග මම වැඩ කරද්දී ගෙව්ව වැටුප එක්ක බලද්දී මට මෙහෙදී ගෙවන වැටුප සාමාන්‍යයෙන් සති 4-5 කට සරිලන වැටුපක්. නමුත් මම බොහොම කැමැත්තෙන් මේ දේ කරන්නේ.”

“අපි වෘත්තීය මට්ටමකින් මේ දේ කරන්නේ. පුහුණුකරුවන් කැපවීමෙන් කටයුතු කරන්නෙ. ඒවට තමයි ඔවුන්ගේ වේතන ලැබෙන්නේ නියාමනයක් ඇතුව. කරන කෙනාගේ කකුලෙන් අදින එක තමයි මේ රටේ චාරිත්‍රය. අපි කරන දේ අනුව තමයි අපේ වේතන ලැබෙන්නේ. ජනතාවට වැරදි දේවල් ප්‍රචාරය කරන එක ගැන කණගාටු වෙනවා..විදෙස් පුහුණ කරුවන්ටත් ගෙවපු මේ තැනම අපිටත් ගෙවන්න ඕනේ.”

“නමුත් අපේ කර්තව්‍යය හොඳ නැත්නම් වෙන අය ගේන්න ක්‍රිකට් පාලනය කරන අයට හැකියාව තියෙනවා.” ඔහු කියා සිටියේය.

ක්‍රිකට් තහනම හා ක්‍රීඩකයින්ගේ මානසික සුවතාවය

මේ අතර දැනට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම පිළිබඳ නායක කුසල් මෙන්ඩිස් අදහස් දක්වමින් පැවසුවේ ඉක්මණින් එම තහනම ඉවත් වී නැවත ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදාවෙනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

” අපි ඉක්මනින් මේක අවසන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නැවත අපේ පුහුණුවීම් පටන් ගන්න බලන් ඉන්නවා.” යැයි නායක කුසල් මෙන්ඩිස් පැවසීය.

Related Articles