ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාද?

ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාද?

 

හරින් ප්‍රනාන්දු පසුගිය පෙබරවාරි මස 05 වෙනිදා දඹුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලබන ඔක්තෝම්බර් 14 වෙනිදා වන විට රටේ නව ජනාධිපතිවරයෙකු පත්ව සිටිනු ඇති බවයි.

“මම විශ්වාස කරන්නේ මේ ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේ පලවෙනි සතියේ තියයි. ”

“කොහොමත් ඔක්තෝම්බර් 14 වෙනිදා වෙද්දී මේ රටේ අලුත් ජනාධිපති කෙනෙක් පත්වෙන්න ඕන.”

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් මුදල් වෙන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ බවය.

“මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළා රජයේ පවතින සීමිත මුදල් අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තුව මගින් රුපියල් බිලියන 10ක් වෙන් කරලා තිබෙන බව.”

“ඒ අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන වියදම් එම ප්‍රතිපාදන තුළ මෙම මැතිවරණ ක්‍රියාවලිය කළමනාකරණය කළ යුතු බවට ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කළා.” යැයි අමාත්‍යවරයා පවසන ලදී.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදී මැතිවරණයන් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන අතරම ඒ සඳහා වන ප්‍රධාන බාධකය වී ඇත්තේ ප්‍රමාණවත් අරමුදලක් වෙන් කර ගැනීම වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

” ඒ ගැටළුකාරී තත්ත්වය එලෙසින්ම පැවතුණත් 2024 වර්ෂය තුළදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් රුපියල් බිලියන 12ක් වෙන් කළ බවට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා යෝජනාවක් විදිහට.” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.
.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අදහස් දක්වමින් කියා සිටියේ මෙම වසරේ නොවැම්බර් මාසයට පෙර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.

“2019 මැතිවරණයෙන් අවුරුදු 05 කට පස්සේ ජනාධිපතිවරණය තියන්න ඕන”

“ඒ අනුව අපි මේ අවුරුද්දේ ජනාධිපතිවරණයට අදාළව අයවැය ඇස්තමේන්තුවට රුපියල් බිලියන 10ක් ඉල්ලලා යවලා තියෙනවා.”

“රටේ මුල්‍ය පාලනය කරන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ඒ අයවැය සම්මත කරල තියෙනවා. ඒකට ඇතුලත් වනවා ජනාධිපතිවරණය සඳහා වන රුපියල් බිලියන 10ත්. මේ මුදල ජනාධිපතිවරණය වෙනුවෙන් පමණයි.”

“මහ මැතිවරණය සඳහා සැලසුම් කරලා තියන්නේ 2025 වසරේදී”

“අපිට අමාත්‍යාංශයෙන් එවනවා හැම අවුරුද්දක්ම අයවැය සඳහා මේ වසරේ සහ ඉදිරි වර්ෂය සඳහා ඇස්තමේන්තු එවන්න කියලා. එතකොට අපි 2025 වසරේ මහ මැතිවරණය වෙනුවෙන් බිලියන 10ක් ඉල්ලලා තියෙනවා.” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

 

 

ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක්

සිවිල් සමාජයේ බළල් අත් අල්ලාගෙන ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක් ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හෙළි කෙළේ ය. ඔහු ඊයේ 08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන වැඩි දුරටත් මෙසේ කීය.

“මේ ජනාධිපතිවරණය තිබෙන අවුරුද්ද නමුත් ඊයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ දී ජනාධිපතිවරණය ගැන හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වචනයක් වත් සඳහන් කෙළේ නෑ. ඒකට හේතුව මේකයි. සිවිල් සමාජයේ බළල් අත් අල්ලාගෙන ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ උත්සාහයක් තියෙනවා. මේක පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතුයි. මෙහි සැලැස්ම තමයි සිවිල් සමාජයේ බළල් අත් අල්ලාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන එන්න සැලසුම් කරනවා. එතකොට කියනවා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ. ඒකට අවුරුද්දක් අපිට ඕනෑ. ඒ නිසා ජනාධිපතිවරණය අවුරුද්දකින් කල් දාන්න වෙනවා කියා කියනවා. මෙහෙම උත්සාහයක් තියෙනවා. උන් හිටි ගමන් නින්දෙන් අවදි වෙලා ප්‍රකාශ නිකුත් කරන සිවිල් සමාජයේ බළල් අත් ඉන්නවා.”

Related Articles