ඩයනාට තවත් ජයග්‍රහනයක් – කංසා නීතිගතයි

ඩයනාට තවත් ජයග්‍රහනයක් – කංසා නීතිගතයි

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා දිය යුතු බව හඬ නැගු ඩයනා ගමගේ රාජ්‍ය අමත්‍යවරිය ගේ ඉල්ලීම ඉටු වෙන ආකාරයක් දක්නට ලැබේ.

අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවට අමුමතිය ලැබී ඇති බව වාර්තා වේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසු අන්දමට :

” නෛතික තත්ත්වයන් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන කෙටුම්පත ආයුර්වේද නීති සංග්‍රහය මඟින් අපි නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ඔහුගෙන් ලැබුණු නෛතික සංග්‍රහයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිද්ධවෙන්නේ.”

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ප්‍රකාශ කළේ ඉදිරි වසර දෙක තුළ කංසා අපනයනයෙන් ඩොලර් බිලියන තුනක අදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බව යි.

“අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාව ධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතු යි,” සමගි ජනබලවේගයෙන් පාර්ලිමේතු පිවිසි ඩයනා ගමගේ පැවසිය.

ලෝකයේ කංසා යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරන බව වැඩිදුරටත් සඳහන් කළ ඇය, එලෙස නිෂ්පාදනය කළ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, දත් බෙහෙත්, දත් බුරුසු වැනි දේ ජනතාවට පෙන්වීම සඳහා රැගෙන ආව ද සභාව තුළට ගෙන ඒමට අවසර නොලැබුණු බව කියා සිටියා ය.

රාජ්‍ය අනුග්‍රය ඇතිව කංසා වගාවක් ලෙස නීතිගතකර අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ඒම සඳහා ඇති එකම බාධකය බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද ආඥා පනත බවත්, එය අහෝසි කළ යුතුව ඇති බවත් මන්ත්‍රීවරිය අවධාරණය කළා ය.

අපනයන වෙළෙඳපොල
කංසාවලට ඇති අපනයන වෙළඳපොළ පිළිබඳව සඳහන් කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කැනඩාව, අමෙරිකාව, ඊශ්‍රායලය වැනි රටවල දැනටත් ගංජා සඳහා විශාල ඉල්ලුමක් ඇති බව යි.

“ඉතා අවාසනාවන්ත ලෙස දැනට දකුණුදිග ඉන්දියාවේ කේරළයත්, වියට්නාමය වැනි රටවලුත්, අප්‍රිකානු රටවලුත් එම වෙළෙඳපොළ ආක්‍රමණය කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනේ,” රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළේ ය.

කංසා වගා කිරීම සඳහා රාජ්‍ය අංශයෙන්, ගුවන් හමුදාව ඇතුළු හමුදා මැදිහත්කර ගැනීමට බලාපොරොත්තු වන බවයි සිසිර ජයකොඩි පවසන්නේ .

ගෝලීය ගංජා වෙළෙඳපොල
වසර 2028 වන විට ගෝලීය නීතිමය ගංජා වෙළඳපොළෙහි විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5ක් දක්වා ළඟා වනු ඇතැ යි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් පුරෝකථනයකර ඇත.

ග්‍රෑන්ඩ් වීව් පර්යේෂණ ආයතනයට අනුව ලෝකයේ ප්‍රදේශ කිහිපයක මෑතකාලීනව ගංජා නීතිගත කිරීම හේතුවෙන්, වෛද්‍යමය අරමුණු සඳහා ගංජා භාවිතාව වේගවත් වෙමින් පවතියි.

“ඖෂධීය ගංජා” යනු විවිධ නිධන්ගත තත්ත්වයන්ට සහ වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා වන්නකි.

වෛද්‍ය නිර්දේශය යටතේ ඇල්සයිමර් රෝගය, ආතරයිටිස්, පිළිකා, මානසික අවපීඩනය, කාංසාව, පාකින්සන්, අපස්මාරය සහ අනෙකුත් ස්නායු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගංජා යොදා ගැනේ.

ගෝලීය ප්‍රවණතා
ගංජා, ලෝකයේ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය වේ.

වසර 2013 දී උරුගුවේ රාජ්‍යය ගංජා විනෝදාත්මක භාවිතාව සඳහා නීතිගත කළ පළමු රට බවට පත්විය.

එසේ සිදුකළ අනෙකුත් රටවල් වන්නේ කැනඩාව, ජෝර්ජියාව, සහ දකුණු අප්‍රිකාව යි. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 18ක, ප්‍රදේශ දෙකක, හා කොලොම්බියා දිස්ත්‍රික්කයේ විනෝදාත්මක භාවිතය සඳහා ගංජා භාවිතා කළ හැකි ය. කෙසේ නමුත් ෆෙඩරල් නීති අනුව ගංජා නීති විරෝධී ලෙස පවතියි.

කෙසේ වෙතත්, 2019 වසරේ දී එක්සත් ජනපදයේ මිලියන 48.2ක ජනතාවක් (එරට ජනගහණයෙන්18%ක් පමණ) අවම වශයෙන් එක් වරක්වත් ගංජා භාවිතාකර ඇති බව, එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය අධ්‍යයනයක් උපුටා දක්වමින් අනාවරණය කළේ ය.

වෛද්‍යවරයෙකුගේ අනුමැතිය යටතේ ඖෂධීය ගංජා භාවිතය රටවල් රැසක නීතිගත කර ඇත. ශ්‍රී ලංකාවේ ද ගංජා ඖෂධ සඳහා භාවිතා කිරීම නීති විරෝධී නොවේ.

ගංජාවල එතනොලික් සාරය වරක් සුලබ වූ නමුත් වසර ගණනාවකට පෙර නිල ඖෂධ ලැයිස්තුවලින් ඉවත් කෙරිණි.

18%ක පමණ THC අන්තර්ගතයක් සහිත ශාකසාර ගංජා (‘ගංජා ෆ්ලෝස්’ ලෙස හැඳින්වේ) ඇතැම් රටවල වෛද්‍ය නිර්දේශය යටතේ ලබාගත හැකිය. එය ඇතැම් ආකාරයේ වේදනාවන් සහ අනෙකුත් ස්නායු රෝග ලක්ෂණ සමනය සඳහා යොදාගැනෙයි.

කැනඩාව තුළ වාණිජමය අරමුණු සඳහා ගංජා වවන්නන් ද, සෞඛ්‍යමය හේතු සඳහා වෛද්‍යවරයෙකුගෙන් ගංජා භාවිතාවට නිර්දේශ ලැබූවන් ද එරට සෞඛ්‍ය අංශයන් සමග ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගත යුතු වේ.

 

ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය ගංජා වේ. කංසා, “මල්” සහ වෙනත් නම්වලින් ද හැඳින්වෙන ගංජා ලංකාවේ වයස අවු. 14ට වැඩි ජනගහණයෙන් 1.9%ක ප්‍රතිශතයක් භාවිතා කරයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 2019 වසරේ ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ 301,898ක් දෙනා ගංජා භාවිතා කරති යි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල් ද සිල්වා පවසන්නේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව, ගංජා භාවිතා කරනවුන්ට සයිකෝසියාව වැනි රෝග ලක්ෂණ සහ භින්නෝන්මාදය වැනි මානසික රෝග වැළඳීමේ අවදානම 2.5% සිට 8% දක්වා ඉහළ යතැ යි විද්‍යාත්මකව සනාථකර ඇතිබව යි. පවුලේ ඥාතියෙකුට මානසික රෝගයක් තිබේ නම් මෙම අවදානම තවත් ඉහළ බව ඔහු සඳහන් කළේ ය.

Related Articles