තේ වතු වල ජනතාවට ස්ථිර ලිපින

තේ වතු වල ජනතාවට ස්ථිර ලිපින

වතු නිවාසවල ජීවත්වන ජනතාවට ලිපි ගනුදෙනු කිරීම සඳහා ලියාපදිංචි කරන ලද ස්ථීර ලිපින නොමත්වීම් බ්‍ර්පර්ල ප්‍රශ්නයක් වන හෙයින් මේ ගැටලුව අධිකරණයට යොමු විය . වතු ජනතාවගේ නමට ලැබෙන ලිපි ලැබෙන්නේ ඔවුන් පදිංචිව සිටින වත්තේ ලිපිනයටය.

එසේ ලැබෙන ලිපි ඔවුන්ට ලැබෙන ආකාර කිහිපයක් පවතී. එකක් වන්නේ වත්තේ ඇති පෙට්ටියකට එම ලිපි දැමීමත්, වතු ජනතාව ඔවුන්ට හිමි ලිපි ඉන් තෝරා ගැනීමත්ය. තවත් ක්‍රමයක් වන්නේ ඔවුන්ට ලැබෙන ලිපි වත්තේ ඔවුන් පදිංචිව සිටින කොටසේ හෙවත් ඩිවිෂන්වල සුපවයිසර්වරුන්ට ලබාදීමත්, සුපවයිසර්වරුන් ඒවා ඔවුන්ට ලබාදීමත්ය.

වතුකර ජනතාවගේ ස්ථිර ලිපිනයක් යන ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්නට යම් උත්සාහයන් පසුගිය කාලයේ ගෙන තිබුණි. එහෙත් එම උත්සාහයන් ස්ථීර විසඳුම් බවට පත්වී තිබුණේ නැත. මේ නිසාම මෙම ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ඉල්ලා වතු කම්කරු ප්‍රජාවේ තරුණයයෙකු වන ජීවරත්නම් සුරේෂ්කුමාර් එස්සීඑෆ්ආර් 110/23 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
ඔහු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස් පෙනී සිට තිබුණ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒඑච්එම්ඩී නවාස් හා අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් වූ තීන්දුවක් දෙසැම්බර් 04 වැනිදා ලබාදී තිබුණි. ඒ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ රජයේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්ක ද සිල්වා අධිකරණයට දන්වා තිබුණේ පෙත්සම්කාර ජීවරත්නම් සුරේෂ්කුමාර් පදිංචිව සිටින මාවතගම මුවන්කන්ද වත්තේ පදිංචි වතු කම්කරු ප්‍රජාවට මාසයක කාලයක් ඇතුළතදී ස්ථීර ලිපින ලබාදෙන බවයි. එමෙන්ම මුළු රටේම වතු ප්‍රජාවට ස්ථිර ලිපින ලබාදීමට යම් කාලයක් යන බැවින් ඒ සඳහා මාස නවයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එම කරුණු පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දී ඇත්තේ එම පෙත්සම පිළිබඳ ඉදිරි කටයුතු අවසන් කරන බවත්, මාස නවයක කාලයකදී පොරොන්දු වූ පරිදි ස්ථිර ලිපින වතු ප්‍රජාවට නොලැබුණේ නම් යළි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිය හැකි බවත්ය.

Related Articles