පරමාධිපත්‍යයට හිනාවෙන්න එපා

පරමාධිපත්‍යයට හිනාවෙන්න එපා

ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂක වූ “සොල්දාදූඋන්නැහෙ” තිරනාටකය ලිවුවෙ පතියි මායි. එහි එක් දර්ශනයක රූප රචනාව මෙසේය.දෙවැනි ලෝකයුද්ධයට සහභාගි වීම නිසා මනස අවුල්කරගත් සොල්දාදු උන්නැහේ,වීදී ගණිකාවක් වූ පේමක්කා, බේබදුකම නිසා රජයේ ලිපිකරු සේවයෙන් පහකල විලීමහත්තයා, නන්නත්තාර පාදඩයෙක් වූ සයිමන් අයියා ප්‍රදීපාගාරය අසල ගසක් සෙවනේ,නිදහස් සැමරුම් දින දහවල බකන්නිලාගෙන සිටිති.

එක්වරම ඔවුන්ට ඉහල අහසේ හෙලිකොප්ටරයක් රවුමක් යනවා නිරීක්ෂණය කල සොල්දාදු උන්නැහේ “යුද්ධෙ… යුද්ධෙ….ඇමරිකන් කාරයො ඇවිත්” කියා කෑ ගසමින් උමතුවෙන් රවුමෙ යයි. “පිස්සුකෙලින්න එපා.. සොල්දාදු උන්නැහෙ,නිදහස් දා පෙලපාලි ගිය හෙලිකොප්ටරයක්,ඒක එලවන්නෙ අපේ එකෙක්…” විලීමහත්තයා කියයි.
‘ජයවේවා…අපි ඒව අල්ලගත්තද…” සොල්දාදු උන්නැහේ යලිත් උමතුවෙන් කෑ ගසයි.”උං ඒව අපිට තෑගි දීල…”විලීමහත්තය කියයි. දල්වාගත් දෑසින් සොල්දාදු උන්නැහේ බලාසිටී. “පරමාධිපත්‍ය….පරමාධිපත්‍යය…”විලීමහත්තයා මතුරයි.”ආයුධයි,ආයුධ පාවිච්චි කරන අය තමයි පරමාධිපත්‍යය. ..” සොල්දාදු උන්නැහේ,පේමක්කා විමසයි.”පරමාධිපත්‍ය..දන්නව ද?”.”මංවත් අහල නැති කුණුහබ්බයක්”පේමක්කා කොක් හඬ දෙයි.

සොල්දාදු උන්නැහේ ඇය පසුපස පන්නනනේ ඇයට පහර දීමටයි.බේරුමක් නැති තැන ඇය නවතී.”ගහපල්ලා..මාව මරාදාපල්ලා…’ සොල්දාදු උන්නැහේ හැඬුම් ස්වරයකින් “මට සමාවෙනින්…..මට අද දවස හොඳ නෑ….පරමාධිපත්‍යයට හිනාවෙන්න එපා”

මම අලුත් පේලි දෙකතුනක් අද එකතුකරමි.

මෛත්‍රීපාල සිරිසේන,මහින්ද රාජපක්ෂ,රනිල් වික්‍රමසිංහ, ඔය තුන්දෙනා මේ දවස්වල නිතර කියවනව නේ අපි පරමාධිපත්‍යය අදහනව. පරමාධිපත්‍යය අයිති ජනතාවට…කියල.
අපිට මේ දවස් හොඳ නෑ.ඒත් පරමාධිපත්‍යයට හිනාවෙන්න එපා.(මීට වසර කීපයකට පෙර ලියන ලද සටහනකි-W Jayasiri )

Related Articles