මිළින වූ අසෝක මල

මිළින වූ අසෝක මල

මිළින වූ අසෝක මල….
ගුණ සුවඳ යුග යුග….
සදානුස්මරණීයවේ .….


අසෝක දිවියෙන් සමුගත් පුවත දුටු මට,මගේ දෙනෙත් අදහා ගත නොහැකි විය. දින කිහිපයකට පෙර අසෝක,මා සමග දුරකථන සංවාදයක බැඳෙමින්, ගුවන් විදුලියේ රසවත් අත්දැකීම් පිළිබඳව කතා කළේ මහත් ම ප්‍රබෝධයකිනි.පැහැදිලි නිරෝගිමත් ඔහුගේ ලෙන්ගතු කටහඬ මදකුදු මිළාන වී නොතිබිණි. එවන් ආකශ්මික වාගීශ්වර හඬක් දින දෙක තුනකින් සදා නිහඬ වූයේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය.මෙම නොතිර සසරේ නියති සෝභාවය එය නොවේ දැයි පසුව මම පසක් කර ගතිමි.

අසොකයන් ගේ දිවි මංතලාවේ ළමා විය පිළිබඳව අනුස්මරණයේ යෙදෙමින්, මෙම කෙටි සටහන ආරම්භ කිරීම මැනවෙයි හැඟිණි. ඩ්මන්ඩ් තිලකරත්න අසෝක ගේ පියාණන්ය.ඔහු කොළඹ නගර සභාවේ ප්‍රවාහන අංශයේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළබව වරක් ඔහු මා හා පැවසීය නන්දා නානායක්කාර මහත්මිය ඔහුගේ මව වූවාය.අසෝක උපන්නේ වාද්දුව ගම් පෙතය. හෙතෙම මූලික අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විදුහල් මාතාව වෙතිනි.

ඔහු සරසවියේ නීතිය හැදෑරීම අත්හැර, නිවේදකයෙක් ලෙසින් ගුවන් විදුලියට පාතබන්නේ 1967 වසරේදීය. එයින් දෙවසරක ඇවෑමෙන් මා ගුවන් විදුලියට එක්වන්නේ වැඩසටහන් ශබ්ද පරිපාලකයෙක් ලෙසිනි. එවක් පටන් අප බෙහෙවින් ලෙන්ගතු මිතුරු දමින් සමීපව ඇසුරු කළෙමු. බොහෝ අවස්ථාවල තුන්වන සම්බන්ධතා මැදිරියේ, සිංහල ස්වදේශීය සේවා විකාශනයේ නිවේදකයා ලෙස ඔහු ශ්‍රාවකයන් අමතද්දී ,යාබද මැදිරියේ සිට මා ශබ්ද පරිපාලක ලෙසින් කටයුතු කළ අවස්ථා මට සිහිපත් වේ.ශ්‍රාවකයින් හදවතට ඇමතු මෙම අද්විතීය නිවේදකයා පසු කාලයේ නිෂ්පාදකවරයකු, ප්‍රවෘත්ති හා සජීවී විස්තර විචාරකයකු,ඉංග්‍රීසි සේවයේ වැඩ බලන අධ්‍යක්ෂ , සිංහල අංශයේ පාලක වන් තනතුරු හොඹවමින් ජාතික ගුවන් විදුලියට සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළේය.

යේ නිෂ්පාදකවරයකු, ප්‍රවෘත්ති හා සජීවී විස්තර විචාරකයකු,ඉංග්‍රීසි සේවයේ වැඩ බලන අධ්‍යක්ෂ , සිංහල අංශයේ පාලක වන් තනතුරු හොඹවමින් ජාතික ගුවන් විදුලියට සදානුස්මරණීය මෙහෙවරක් ඉටු කළේය.

අසෝකගේ එකම සොහොයුරු රිජ්වේ තිලකරත්න1973 ගුවන් විදුලියේ මුල් පුටුව හෙබ වුවද, නිවේදකයකු, වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස සිටි හේ ,සිය සොහොයුරා ගෙන් කිසිම වරප්‍රසාදයක්, සැලකිල්ලක්, උසස්වීමක් නොලැබූ අයුරු අප මැනවින් දුටිමු.
ගුවන් විදුලි ආපන ශාලාවේ සිරිල් (රාජපක්ෂ ) අයියා සහ මා අසෝ කයෙන් සමඟ තේ පානය කරමින් සිටි අවස්ථාවක ඔහු සිය අයියා පිළිබඳව අප හා පැවසූ වදන් මේ මොහොතේ මගේ මතකයට නැගේ. “අයියාට වඩා මම අවුරැදු 11ක් වයසින් බාලයි. ඒ නිසා මම එයාට සැලකුවේ තාත්තෙකුට වගේ” අසෝක සිය අයියන්ඩියගේ, අප අසා නොමැති පුවතක්ද ,වරක් අප හා විස්තර කළේය.එනම් අසෝක සොයුරු ,රිජ්වේ තිලකරත්න පරිපාලනවේදියා ගේ කාව්‍ය නිපුණතාවයේ මහිමය හුවා දක්වමිනි..

“ඔබ හා මෙමා අතිනත් අරන් – අපගේ ලොවේ තනි වූ එදා..”… මේ ගීතයේ රචකයා අපේ අයියා…ඒත් අප නිවේදකයන් ලෙසින් මෙම ගීතය ගුවන් විදුලියේ වාදනය කරන අවස්ථාවල හඳුන්වා දෙන්නේ ,පද රචිකාවිය විමලා රංජනී පීරිස් කියල.අපේ අයියගේ සම්පූර්ණ නම වාද්දුවගේ රිජ්වේ පෙරේරා තිලකරත්න… මුල් අකුරැ ඩබ්ලිව්.ආර්.පී. වෙනුවට විමලා රංජනී පීරිස් කියන අන්වර්ථ නාමයෙන් ඔහු මෙවැනි ජනප්‍රිය ගීත ගණනාවක් ලියලා තියෙනවා…”අසෝකයන් මෙම පුවත අප හා පවසන අවස්ථාවේ, ඔහුගේ මුහුණින් සොයුරු පෙම උතුරා යන සෙයක් දිස්විය.


සොඳුරු අසෝක සොයුර,

මාර්තු 15 -පස්වරුවේ ඔබ බොරලැස්ගමුව සුසානයේ මිහිදන්වූ පසුව ,ඔබ සිරුර වියැකී ගියද, ඔබ මානව භක්තියෙන් පිරිපුන් අධ්‍යාත්මයේ සුවඳ, ජාතික ගුවන් විදුලිය වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවර,යුග යුග ජන හදවත්හි දිදුලනු නිසැකි.
මෙම කෙටි සටහන නිමා කරන්නට පෙර, ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් බලධාරීන් ගේ සුවිශේෂී අවධානයට යොමු විය යුතු කරුණක් අවධාරණය කරනු රිසීයෙමි.
ගුවන් විදුලි ශිල්පියෙක් අභාවප්‍රාප්ත වූ අවස්ථාවලදී පවා,මෘත දේහය් මද විරාමයකට හෝ,ගුවන් විදුලි මහගෙදර පියසේ තබා ගෞරව කිරීම, ගුවන් විදුලියේ පෙර සිට පැවත එන , කෘතවේදී සම්ප්‍රදායකි.මෑතකදී අභාවප්‍රාප්ත නන්දා ජයමාන්න මැතිනියට මෙන් ම ,අද දවසේ බොරලැස්ගමුවේ පෞද්ගලික මල්ශාලාවක සැතපෙන,අසෝක තිලකරත්න නම් ,එදිරීවාදීන් නොමැති ,එම අහිංසක ගුවන් විදුලි යුග පුරුෂයාටද අවස්ථාවක් ලබා නොදීම, මුළු මහත් ජාතියේම දැඩි කම්පාවකට හේතුවක් නොවන්නේද ?
අසෝක තිලකරත්න සොහොයුරාට අජරාමර නිවන් සුව පතමු.
ගාමිණී කාරියවසම්

 

හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

 

Related Articles