අමර ගුණසේකර නික්මන

අමර ගුණසේකර නික්මන

වරක් ප්‍රංශයට පැමිණි අමරදේවයන් හා සංවාදයක් පැවැත්වීමේ වගකීම පැවරුමේ අමර ගුණසේකරයන්ටය.

වදන් හැසිරවීමේ බුහුටි අමරදේවයන් සංවාදය ආරම්භ කළේ ‘ඔබත් අමර මමත් අමර යනුවෙනි ‘

අද ඒ කියමන වෙනත් අරුතකින් සැබෑ වී ඇත .

අමර ගුණසේකරයන් ප්‍රංශයේදී අකල්හි නික්ම ගොසිනි .
මේ දෙදෙනාම දැන් නික්ම ගොස් ඇති නමුත් ඔවුන් පිළිබඳව ඇති මතකය අමරය.

අමර ගුණසේකරයන්ට තිබුනේ ගුවන් විදුලි මාධ්‍ය හා අනන්‍ය සබැඳියාවකි . ඔහුගේ හඬ පෞර්ෂය අපුර්ව විය.

ඔහු තුල සිත්තරෙක්, කවියෙක් ,සංස්කෘතික ක්‍රියාධරයෙක් විය . ඒ සියල්ලට වඩා මිනිසත් බවට‍ ලැදි හිත මිතුරෙක් විය.

ගාල්ලේ උපන් අමර ගුණසේකර මුලින්ම ඇතුල්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලටය .එහිදී සමාජ විද්‍යාව හැදැරු ඔහු පසුව චිත්‍ර කලාව හැදෑරීම සඳහා ඔහු රජයේ චිත්‍ර කලා ආයතනයට ඇතුලත්ව මහගමසේකරයන් සෙවනේ චිත්‍ර ශිල්පය හැදෑරුවේය .

ජාතික රූපවහිනියේ සමාරම්භක උළෙලේ නිවේදකයින් අතර ඔහුද විය . එඩ්වඩ් ජයකොඩි ගයන වසන්තයේ අග ගීතය ඉදිරිපත් කෙරුනේ අමර ගුණසේකර ගුවන් විදුලියට ඉදිරිපත් කළ සොඳුරු සෙවන වැඩ සටහනක් තුලින් බව ඔහු කියා සිටියේය .

ප්‍රංශයේ සිට බී බී සී සිංහල අංශයට මාධ්‍ය වාර්තා සම්පාදනය කළ අමර ගුණසේකර නැවුම් බොහෝ දේ අසන්නන් වෙත රැගෙන ආවේය.

පැරිසියේ ලුවර් කෞතුකාගාරයේ සිට මොනාලිසා සිතුවම පිළිබඳව ගෙනා විස්තර කථනයේදී ඩාවින්චි සිතුවමේ පසුතලය තුල බොහෝ කරුණු ඉතා සියුම් ලෙස ග්‍රහණය කරගෙන ඇති බව ඔහු ගෙනහැර දැක්වුවේ සිතුවම්කරණය සහ ගුවන් විදුලි ශිල්පය පිළිබඳව ඔහු තුල වූ පරිචය එක්තැන් කරවමිනි.

ඔහුගේ වියෝව පිළිබඳව ලංකා නිව්ස් ලයින් ඇමතු ප්‍රංශයේ සංඟ නායක අති පුජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමියන් පැවසුවේ ප්‍රංශයේ දහම් පාසැල සංස්කෘතික උත්සව මෙන්ම සියළු පොදු කටයුතු අමර ගුණසේකර අතින් අලෝකමත් වූ බවයි . ඔහු ප්‍රංශයේ සිංහල ප්‍රජාවට නැතිවම බැරි නිවේදකයා විය .

සුභ ගමන් මිතුර !

Related Articles