වියැකී යන ලිහිණි සර

වියැකී යන ලිහිණි සර

කලක් ජාතියක් ආකර්ෂණය කර ගත් සැළලිහිනියාට අද සිදුවී තිබෙන්නේ කුමක්ද? සැළලිහිණියා නගන සැබෑ වේදනාව ගුවන් තරංග අතර මුමුණන බව පෙනේ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 1980 ගණන්වල, එහි ආරම්භයේ දී සැලකිය යුතු ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. ඊට හේතු ගණනාවකි. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ජාලය වූ අතර, රජය සතු ආයතයනයක් විය. ජනතාවට නැවුම් අත්දැකීමක්ද විය. ඒ නිසාම එය නරඹන්නන් ආකර්ෂණය කළේය. ජනතාව එය වැළඳ ගත්තේය.

ආරම්භයේදී අධ්‍යාපනික වැඩසටහන් සහ ප්‍රවෘත්ති වලට මුල් තැනක් දී ආරම්භවූ ජාතික රූපවාහිනිය අනතුරුව විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන ලදී. එම විවිධත්වය එයට පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට උපකාරී විය. ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ අනන්‍යතාවය එම වැඩසටහන් තුළින් ප්‍රදර්ශනය කෙරිණ. නරඹන්නන් අතර සුහදත්වයක් හා සම්බන්ධතාවයක් ඇති කිරීමටද රූපවාහිනිය දායක විය.

ටයිටස් තොටවත්ත

 

කුසලතා පූර්ණ නිර්මාණකරුවෝ

රූපවාහිනියට එදා ඉමහත් කීර්තියක් අත්කර ගැනීමට හැකිවූ අතර ඒ අතීතය අදත් බොහෝ දෙනෙක් සිහිපත් කරති. වැඩ සටහන් නිෂ්පාදනයට සම්බන්ධවී සිටියේ, ගුවන් විදුලියේ සිට රූපවාහිනියට සම්බන්ධවූ නාට්‍ය, සංගීතය ඇතුළු විවිධ වැඩසටහන් පිලිබඳ අත්දැකීම් ලැබූ නිෂ්පාදකයන් පිරිසකි. එසේම තවත් කුසලතා පූර්ණ නිර්මාණකරුවෝ වැඩසටහන් සම්පාදනයෙහිලා දායකවූහ. ජනමාධ්‍ය පිලිබඳ අවබෝධයක් තිබූ මෙන්ම රූපවාහිනී අභ්‍යාස විද්‍යාලයේ පුහුණු පාඨමාලා හැදෑරු නිෂ්පාදකයෝද ආරම්භයේදී සේවයට එක්ව සිටියහ.

‘දිමුතු මුතු’ ‘ලාහිරු දහසක්’ ‘යශෝරාවය’ ‘කඩඉම’ ‘පලිඟු මැණිකේ’ ‘තාරා දේවී’ ‘පාරමී දම්’ ‘ගම් පෙරලිය’ආදී ටෙලිනාට්‍ය සහ ‘කලෙයි අරන්ගම්’ ‘ඌර් කෝලම්’ වැනි දමිල වැඩසටහන් ආරම්භයේදී ජනතාවට ඉතාමත්ම සමීප විය. ‘නන්දන වින්දන’ ‘සංඛ පද්ම’ වැනි සංගීත වැඩසටහන්ද ජනප්‍රිය වැඩසටහන් අතරට එක්විය. 1982 දී ආරම්භ වූ ‘මුතුහර’ ළමා වැඩසටහන් මාලාව ප්‍රේක්ෂක ප්‍රජාව අතර තදින් බද්ධ විය. ‘අඹ යහළුවෝ’ ළමා ටෙලිනාට්‍යය තවත් පැසසුමට ලක්වූ වැඩසටහනකි. 1984 දී සිනමාවේ දැවැන්තයකුවූ ටයිටස් තොටවත්තයන්ගේ ප්‍රධානත්‍වයෙන් ඇරඹි හඬ කැවීමේ ඒකකය ජනතාවට අලුත් අත්දැකීමක් ගෙන දුන්නේය. එම ඒකකය මගින් නිෂ්පාදනය කල ‘පිස්සු පූසා’ ‘දොස්තර හොඳ හිත’ ඇතුළු කාටුන් බාල මහලු සියලු දෙනාගේ ප්‍රියතම වැඩසටහන් අතරට එක්විය. ‘කළු දියමන්ති’ සහ ‘මෙහෙනිවර’ යන වාර්තා වැඩසටහන් රූපවාහිනි ආරම්භක ඉතිහාසයේ මතක සටහන් අතරට එක්ව තිබේ.

ප්‍රවෘත්ති සහ අධ්‍යාපන වැඩසටහන්

ජපානය, රූපවාහිනිය ශ්‍රී ලංකාවට දායාද කරමින් බලාපොරොත්තු වූ ප්‍රධාන අරමුණු දෙකකි. ප්‍රවෘත්ති සම්පාදනය පළමුවැන්නයි. අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය දෙවැන්නයි. ප්‍රවෘත්ති සහ අධ්‍යාපන වැඩසටහන්වලට අමතරව විනෝදාස්වාදය සැලසීම තවත් අරමුණකි. සිංහල, දෙමල සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රවෘත්ති විකාශය වූ අතර ප්‍රවෘත්ති ප්‍රකාශයක් විනාඩි දහයකට සීමා විය. උසස් පෙළ ඉලක්ක කරගනිමින්,අධ්‍යාපනික වැඩසටහන් විෂය මාලාවන්ට අදාලව සකස් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යංශයේද සහය ඇතිවයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළපුරුදු ගුරුවර-ගුරුවරියන් පිරිසක් විසින් වැඩසටහන් සම්පාදනය කෙරිණ. පහසුකම් අඩු පාසල්වල සිසුන්ට ඉන් විශාල සේවයක් ඉටුවිය. ජාතික රූපවාහිනියේ අඛණ්ඩ වර්ධනය පෙළ ගැසුනේ ඒ ආකාරයටයි. එහෙත් රූපවාහිනිය විවෘත තරඟකාරිත්වයකට මුහුණදීමට සූදානම්ව නොසිටින අවස්ථාවකට මුහුණ දෙන්නේ 1990 වසරේ ආරම්භයත් සමඟයි.

1990 දශකයේදී සිරස ටීවී වැනි පුද්ගලික නාලිකා බිහිවීම සහ නරඹන්නන්ට විකල්ප, වඩාත් නව්‍ය හා ආකර්ශනීය වැඩසටහන් තෝරා ගැනීමට හැකිවීම රූපවාහිනියේ ආධිපත්‍යයට අභියෝගක් විය. එසේම කේබල් සහ අන්තර්ජාලය වැනි විකල්ප මාධ්‍යවල නැගීමත් සමඟ නරඹන්නන් සාම්ප්‍රදායික විකාශන මාධ්‍යවලින් කෙමෙන් ඈත්වන්නට පටන් ගත්තේය. ජාතික රූපවාහිනිය, පරිපාලනයේ සිට වැඩසටහන් නිෂ්පාදනය දක්වා අඩු වැඩි වශයෙන් දේශපාලනීයකරණයට ලක්වීම එහි පරිහානියට බලපෑ ප්‍රධාන සාධකයකි. විවිධ සමාජ, ආර්ථික සහ තාක්ෂණික වෙනස්කම්වල ක්‍රියාකාරිත්වයද මෙහිලා සැලකිල්ලට ගත හැක.

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වසර ගණනාවක සිට සැලකිය යුතු මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී. ඊට දායක වන සාධක ගණනාවකි. පුද්ගලික මාධ්‍යවලින් කෙරෙන බලපෑම සහ තරඟකාරිත්වය මින් පළමුවැන්නයි. සීග්‍රයෙන් වෙනස්වන වෙළඳ ප්‍රචාරණ ප්‍රවණතා හේතුවෙන් අහිමිවන වෙළඳ ප්‍රචාරණ ආදායම දෙවැන්නයි. දිනෙන් දින ආර්ථික වශයෙන් දුර්වල අඩියකට ඇදවැටෙමින් තිබෙන අතරවාරයේ, ඒ බව දැන දැනම ඊට විසඳුම් හෝ විකල්ප සෙවීම හෝ ගැන නොතකමින් ඊට බලපා ඇති හේතු කාරක තවදුරටත් පෝෂණය කිරීම තවත් ප්‍රධාන හේතුවකි. විශාල ශ්‍රම බලකායක් සහ යල් පැන ගිය යටිතල පහසුකම් නඩත්තු කිරීම අධික මෙහෙයුම් පිරිවැයට දායක වේ.

‘1982 පෙබරවාරි 15 වැනිදා’ ශ්‍රී ලංකා දිනපොතේ සටහන්වූයේ ඓතිහාසික දිනයක් ලෙසින්. ඒ ජාතික රූපවාහිනිය බිහිවූ දිනයයි. ”රූපවාහිනිය සත්‍යවාහිනියක් වේවා,” ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා සමාරම්භක උත්සවය අමතමින් ජාතික රූපවාහිනියට සුබ පැතුවේය. කැබැලිවලට කැඩී, අන්තයටම පිරිහී ඇති, ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයට අද පැවසිය හැක්කේ කුමක්ද?

 

 

 

දේශපාලනීයකරණයේ ගොදුරක්

ශ්‍රී ලංකා රූපවාහිනිය දේශපාලනීකරණයට ලක්වීම (හෝ ලක්කිරීම ) සෘජුවම එහි මූල්‍ය පාඩු ඇති කිරීමට හේතුවූයේද, යන්න එහිලා සලකා බැලිය යුතු කරුණකි. ආරම්භයේ පටන්ම එවැනි ලක්ෂණ සුළු වශයෙන් දක්නට ලැබුනත්, ස්වාධීන රූපවාහිනී සේවය හැරුනවිට, වෙනත් නාලිකා නොවූ බැවින් ජනතාවට ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති නොකළේය. එහෙත්, පසුකාලීනව කලින් කල බලයට පත්වූ දේශපාලන නායකයෝ දේශපාලන වාසි තකා රූපවාහිනිය සිය දේශපාලන යාන්ත්‍රණයේ කොටසක් බවට පත් කර ගත්හ. රජයේ ඇඟිලි ගැසීම් සිදුවුවා පමණක් නොව රජයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක අරමුණු සඳහා රූපවාහිනිය භාවිතා කරනු ලැබීය.

 

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා තම ජනාධිපති ධුර කාලයේදී දේශපාලන වාසි තකා ජාතික රූපවාහිනිය යොදා ගත් බවට චෝදනා එල්ල වී තිබේ. රූපවාහිනිය මගින් ඔහුගේ ප්‍රතිපත්ති වාසිදායක ලෙස නිරූපණය කිරීමට ගත් උත්සාහය දැක ගන්නට ලැබිණ. මැතිවරණ ප්‍රචාරණය සඳහා රූපවාහිනී ගුවන් කාලය ආණ්ඩු පක්ෂයට සාපේක්ෂව විපක්ෂයේ පක්ෂවලට සැලකිය යුතු ලෙස අඩුවෙන් ලැබුණු බව නැගුණු තවත් චෝදනාවක්. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගත් ගුවන් කාලය සඳහා ලැබිය යුතු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට අනාවරණය විය.

රජයක් සිය ප්‍රචාරක අරමුණු සඳහා රූපවාහිනිය භාවිතා කරන්නේ නම්, ප්‍රමුඛත්වය ලැබෙන්නේ දේශපාලන අන්තර්ගතයට මිස වාණිජමය අන්තර්ගතයට නොවේ. මේ නිසා අදායම් පහල වැටීමත් රූපවාහිනී ප්‍රේක්ෂකයන් ජාතික රූපවාහිනියෙන් ඈත්වීමත් වැළැක්විය හැක්කක් නොවේ.

රූපවාහිනිය දේශපාලනීකරණයට ලක්වීමට අනුරූපව කලින් කලට රූපවාහිනී කාර්ය මණ්ඩලය අතර පක්‍ෂග්‍රාහී කණ්ඩායම්ද පෙළ ගැසිණ. සිදුවූයේ කුමක්ද? මහජන විශ්වාසය පළුදු විය. නරඹන්නන්ගේ ප්‍රමාණය කෙමෙන් අඩුවන්නට පටන් ගත්තේය. ප්‍රචාරණ දැන්වීම් සහ අනුග්‍රහය දැක්වීම් ආදිය අහිමිවෙමින් ආදායම ගිලිහී යෑම ආරම්හ විය. මේ හේතුවන් සේවකයන්ගෙන් බහුතරයක් අසතුටට මෙන්ම මානසික ආතතියකට ලක්වීම නොවැලැක්විය හැකිය. තම කාර්යයන් සහ ආයතනය කෙරෙහි සැබවින්ම දැඩි උනන්දුවක් දක්වන කාර්ය මණ්ඩලය අතර හටගත්තේ කලකිරීමකි. මේ අතර අකාර්යක්ෂම කළමනාකරණයද උද්ගතව පවතින තත්වයට වගකිව යුතුය. එසේම සමහර සේවකයන්ටද ඉන් අත සෝදා ගෙන සිටිය නොහැක්කේ ඔවුන්ද අඩු වැඩි වශයෙන් විවිධාකාරයෙන් වගකිවයුතු හෙයිනි.

ජාතික රූපවාහිනිය තුල ක්‍රියාත්මක දේශපාලන පක්ෂ හා සම්බන්ධ වෘතීය සමිති මගින් කෙරෙන බලපෑමද බහුතර සේවකයන්ගේ කලකිරීමට හේතුවී තිබේ. උසස්වීම් ලබාදීම, සුදුස්සන්ට සුදුසු තැන නොලැබීම, විදේශ ශිෂ්‍යත්ව ලබාදීම යනාදිය මෙහිලා සඳහන් කල හැක. ආරම්භක සභාපති එම.ජේ.පෙරේරා මහතා යටතේ එවැනි වෘතීය සමිති වලට හිස එසවීමට ඉඩක් නොලැබිණි. ඊට හේතුව වූයේ ඍජුවම ඉහලම නායකත්වය හා ඔහු අතර සමීප සම්බන්ධතාවක් පැවතීමයි. එහෙත් තවත් සමහරෙක් ඇමතිවරුන් අතර ඇතිකරගත් දැන හැඳුනුම්කම් මත ලාභ ප්‍රයෝජන ලබා ගත් අවස්ථා නිසා සෙසු සේවකන්ට සිදුවූයේ අසාධාරණයකි. රූපවාහිනී වාණිජ අංශයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සහ වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලිය තුල සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව කලින් කලට අසන්නට ලැබිණි. එසේම මෑත කාලීනව, ජාතික රූපවාහිනියේ පරිහානියේ තරම පෙන්වමින්, ටෙලි නාට්‍ය විකාශනයට අනුමතිය ලබා දීම පිණිස ලිංගික අල්ලස් ලබාදීම ඇතුළු අක්‍රමිකතා සිදුව ඇති බවට, තහවුරු නොකළ මාධ්‍ය වාර්තාවල පල විය.

 

සේවකයන්ගේ කලකිරීම

ආරම්භයේදී, එනම් 1982 පෙබරවාරි 15 වැනිදා ජාතික රූපවාහිනියේ කාර්ය මණ්ඩලය 105 වූ අතර 1993 වන විට එම සංඛාව 346 දකවා වර්ධනය විය. වසර 15 සම්පූර්ණවෙද්දී, එනම 1997 වනවිට සේවක සංඛ්‍යාව 820 පමණ මට්ටමට වර්ධනය වී විශාල කාර්ය මණ්ඩලයක් බවට පත්විය. වසර 2000 දී එම සංඛ්‍යාව 1000 ඉක්මවා ගියේය.

ජාතික රූපවාහිනියට එහි පනත මගින් ස්වාධීනව පාලනය කිරීමේ නිසි ලිඛිත ප්‍රතිපත්තියක් නොමැතිකම මේ සියල්ලටම වඩා සැලකිල්ලට ගත යුතු කරුණකි. සභාපතිවරයකු පත්වන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම පිණිසයි. අධ්‍යක්ෂ ජනරාල්වරයාට පරිපාලන කටයුතු පැවරෙන අතර මෙම තනතුරු දෙකටම අලුතින් පත්වන රජයක් මගින් තමන්ට පක්ෂපාත නිලධාරීන් පත්කර ගනු ලැබේ. මේ නිසා, රූපවාහිනී බලපත්‍ර ගාස්තුද ඉවත් කොට ඇති ව්‍යුහයක් තුල ජනතා අපේක්ෂාවන් සපුරාලීමට වඩා රූපවාහිනී සංස්ථාව ඉලක්කකොට ඇත්තේ, බැලූ බැල්මට දේශපාලන අරමුණු කරා යන මාවතකි.

එහෙත් ලෝකයේ දියුණු මාධ්‍ය ආයතනවල පරිපාලන ව්‍යුහය පුළුල් ස්වාධීනත්වයකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතී. උදාහරණ වශයෙන් බීබීසී(BBC) ආයතනය රාජකීය ප්‍රඥප්තියක් මගින් පාලනය වන ස්වාධීන ආයතනයකි. රාජකීය ප්‍රඥප්තිය මගින් BBC සඳහා ව්‍යවස්ථාමය පදනම සකසා ඇත. BBC හි අරමුණ, මෙහෙවර සහ පොදු අරමුණු එහි දක්වා ඇත. බීබීසී වැඩසටහන්වල කර්තෘමය කරුණුවලට හෝ ආයතනයේ එදිනෙදා කටයුතුවලට හෝ මැදිහත් වීමට රජයට විධිවිධාන නොමැත. බීබීසී මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමබර ලෙස තොරතුරු ඉදිරිපත්කිරීමට ආයතනය කැපවී සිටින අතර කිසියම් නිශ්චිත දේශපාලන දෘෂ්ටිකෝණයක් ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී සිටියි. මහජනතාවගේ ගැටළු විසඳීම සඳහා පැමිණිලි ක්‍රියා පටිපාටියක්ද ප්‍රකාශයට පත් කොට තිබේ. ආයතනය බලපත්‍ර ගාස්තු ගෙවන්නාට වගකිව යුතුය. මීට අමතරව 2003 වසරේදී Ofcom නමින් ස්වාධීන සන්නිවේදන නියාමන ආයතනයක් ස්ථාපිත කරන ලද අතර BBC ඇතුළු විකාශන ක්ෂේත්‍රයට අයත් සියලු ආයතන එමගින් නියාමනය කෙරේ.

ජාතික රූපවාහිනිය විසින්, ආරම්භ කොට වසරක් ඉක්මවා යද්දී, බදු ගෙවීමට පෙර මිලියන 7.8 ලාභයක් උපයන ලදී.  සිය මෙහෙයුම් වලින් පමණක් වියදම් පියවා ගනිමින් සේවකන්ට පාරිතෝෂික පවා ගෙවීමට සංස්ථාවට හැකියාව ලැබී තිබිණ.

රූපවාහිනී සංස්ථාව විශාල අලාභයක් ලබා ඇති බවත්, ආයතනය පවත්වාගෙන යාම සඳහා භාණ්ඩාගාරය විසින් වසර 9ක් තුළ බදු ගෙවන්නන්ගේ මුදලින් රුපියල් මිලියන 3,052 පොම්ප කර ඇති බවත් රජය ප්‍රකාශ කොට ඇත. සංස්ථාව 2023 වර්ෂයේදී රුපියල් මිලියන 277 අලාභයක් ලබා ඇති බවත්. එය පවත්වාගෙන යාම දුෂ්කර කාර්යක් බවත්, මේ නිසා එය , 2023 වසරේ රුපියල් මිලියන 457 පාඩු ලැබූ , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ඒකාබද්ධ කොට පොදු සමාගමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවත් රජය තවදුරටත් සඳහන් කොට තිබේ. මේ ක්‍රියා මාර්ගය මගින් එම ආයතනවල කාර්යක්ෂමතාව සහ ආදායම් උත්පාදනය වැඩිදියුණු කල හැකිද? මෙය අසාධ්‍ය ලෙඩුන් දෙදෙනකු එකවර සුවපත් කිරීමට අකාර්යක්ෂම වෛද්‍යවරුන් ගන්නා තවත් උත්සාහයක් ලෙසටයි හඳුනා ගත හැක්කේ.

විමලසේන හේවගේ

Related Articles