රනිල් සමඟ ලෙනින් මහකනදරාවට

රනිල් සමඟ ලෙනින් මහකනදරාවට

රනිල් සමඟ ලෙනින් මහකනදරාවට අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර විවුර්ථ කිරීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගොවි
උද්ගෝෂණයකට මැදිවිය.

අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන මේ ජලසම්පාදන වැඩ පිළිවෙල හේතුවෙන් රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ . එහෙත් ගොවීන් කියා සිටියේ මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා ගන්නේ නැතුව මහකනදරාව වැවෙන් ජලය ලබා දීම හේතුවෙන් තමන්ගේ ගොවි බිම් වලට ජලය හිඟ විය හැකි බවයි .


වහාම ගොවි නායකයින් සහ නිලධාරීන් සමඟ රැස්වීමකට අසුන් ගත් ජනාධිපතවරයා අසල ඒරියා වැව හරහා මහකනදරාව වැවේ ජල ධාරිතාව වැඩි කරන බව පොරොන්දු විය. මේ සඳහා මිලියන දහසක් වෙන් කරන ලෙසත් උපදෙස් දුන්නේය .

දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසීය .

මාධ්‍යට කතා කළ ගොවි නායකයෙක් පැවසුවේ මෙය තාවකාලික පැලැස්තර විසඳුමක් බවයි . කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ වැඩේ ගොඩින් බේරා ගත්තේය.

මේ දිනවල වැඩිවෙන දේශපාලන උණුසුම ජනාධිපති වරයාටද දැනෙන්නට පටන් ගෙන ඇත . ඔහුට ලෙනින් මතක් වුනේ ජාතික ජන බලවේග රැල්ල නිසා විය හැකිය .

 

“ආණ්ඩු කඩා වැටෙන විට ඕනෑම ආණ්ඩුවක් පළමුව කළයුත්තේ මෙම මූලික අවශ්‍යතා සපුරාලීමයි.ඒ මූලික අවශ්‍යතා පිළිබඳ මට වඩා හොඳට 1917 රැසියානු විප්ලවයේ දී ලෙනින් මැතිතුමා ප්‍රකාශ කළා. එතුමා එම අවස්ථාවේ කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ. Peace, Land, Bread යනුවෙන් පමණයි ප්‍රකාශ කළේ. වෙන මොකුත් කිව්වේ නැහැ. බලය ලබා ගැනීමෙන් පසු තමයි කොමියුනිට්ස්වාදය ඇති කළේ” යයි ඔහු පැවසීය .

මේ වෙලාවේ මුලික අවශ්‍යතා සපුරන්නේ තමන් බැවින් පළමුව තමන්ට ඡන්දය දී පසුව කැමති වාදයක් සමඟ ගනුදෙනු කර ගන්න යන්න මෙහි සැඟවුණු අරුත බව උත්සවය වාර්තා කිරීමට ගිය මාධ්‍ය වේදියෙක් පැවසීය.

Related Articles