වළ සතිය වැස්සෙන් බේරගන්න පනස් වසරක් ගැටඹෙ පන්සලට පඬුරු ගැට ගැසූ වළේ අංකල්

වළ සතිය වැස්සෙන් බේරගන්න පනස් වසරක් ගැටඹෙ පන්සලට පඬුරු ගැට ගැසූ වළේ අංකල්

අදටත් විශ්වවිද්‍යාලයේ දරුවෝ මාව හොයාගෙන එනවා

ගැටඹේ පංසලට ගිහිල්ලා භාරවෙන්න කියන්න

සිංහබාහු මනමේ මහාසාර බලන්න තමයි පිටින් සෙනඟ හයදහසකටත් වැඩිය ඇවිත් වළ පිරුණෙ

වේදිකා නාට්‍යයක් රඟදක්වන කොට මටත් පිටිපස්සේ ඉඳන් ආසයි දෙබස් කියන්න

ජයලත් මනෝරත්න මහත්තයා “කෝ.. අංකල් කියලා” කෑගහගෙන තමයි වළට එන්නේ

සරච්චන්ද්‍ර මහත්තයාගේ නෝනා එනකොට මාත් පොඩ්ඩක් පස්සට වෙනවා. ඒ තරම් ප්‍රතාපවත් පෙනුමක් ඇයට තිබුණේ

උසස් අධ්‍යාපනය ලබන්න විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙනවා කියන එක දක්ෂතාවයත් වාසනාවත් එකතුවෙලා ලැබෙන දෙයක්…

ජීවිත කාලයෙන් වසර පනහක්ම විශ්වවිද්‍යාලයක් තුළ උගතුන්ගේ ඇසුර ලබමින් ඉන්න ලැබෙනවා කියන එක ඇත්තටම වාසනාවක්….

ඒ වාසනාව උපරිමයෙන්ම භුක්ති වින්ද අදටත් ඒ මතකයන් සමගින් සතුටින් ජීවිතය අත්විඳින පුද්ගලයෙක් තමයි ජී.බී.පියදාස මහත්තයා. තවත් විදිහකට කියනවනම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇසුරේ ජීවත්වුණ හැමෝම දන්න වළේ අංකල්…

“ඇත්තටම මං වාසනාවන්තයි තමයි. පණ්ඩිතරත්න මහත්තයාගේ ඉඳලා අද ඉන්න ළමාවංශ මහත්තයා දක්වා උප කුලපති මහත්තුරු හත් දෙනෙක් අට දෙනෙක් එක්කම මම විශ්වවිද්‍යාලයේ වැඩ කරලා තියෙනවා. ඒ හැම දෙනාම මට හරි ආදරෙයි මට භාරදුන්න වැඩක් මම අතපහු කරල නෑ, විශ්ව විද්‍යාලය ඇතුළේ මම වැඩ කළේ පුදුම උද්යෝගයකින්…”

පියදාස මහතා කතාවට මුලපුරමින් කීවේය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්යාල කාර්ය සහායක ලෙස රැකියාවට පැමිණ ඇත්තේ 1978 දෙසැම්බර් දහතුන් වැනිදාය. ඔහුට විශ්වවිද්‍යාලයේ රැකියාව ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණේ එවකට ආරක්ෂක අමාත්‍ය ටී.බී. වේරපිටිය මහතාය.

විශ්වවිද්‍යාලය University of cylone ලෙස 1941 අප්‍රේල් මාසයේ කොළඹින් පේරාදෙණිය භූමිය වෙත රැගෙන එන්නට කටයුතු කොට තිබුණේ එවකට අධ්‍යාපන අමාත්‍ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතාය. ශ්‍රීමත් ආචාර්ය අයිවෝ ජෙනින්ස් මහතා විදුහල්පති ලෙස වැඩ භාරගෙන තිබූ අතර වසර 1972 දී university of Sri Lanka peradeniya campus ලෙස නැවතත් සංශෝධනයන් සිදුවී තිබිණි. 1977දී පත් වූ නව රජය විසින් 1942 ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආඥා පනත සංශෝධනය කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් ද සෙනෙට් බලතල සහ උපකුලපති තනතුරුද ඇති කරමින් 1978 දී university of peradeniya ලෙස නම් කරන ලදී. පියදාස මහතා රැකියාවට පැමිණ තිබුණේ මේ කාලයේදීය. එනම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෙස නම් ලබා ආරම්භ වූ සමයේදීය.

“මම මුලින්ම විශ්වවිද්‍යාලයට ආවේ කම්කරුවෙක් විදිහට. ඇවිත් ටික දවසකින් විශ්වවිද්‍යාලයේ දුම්බර මණ්ඩපයේ සේවයට ගියා. එතකොට දුම්බර මණ්ඩපය තිබුණේ පොල්ගොල්ලේ. මීගහකොටුව මහත්තයා තමයි රෙජිස්ටර් විදිහට කටයුතු කළේ. අවුරුදු දහයක්ම එහි වැඩ කළා. පස්සේ 1988 දුම්බර මණ්ඩපය පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට ගෙනාවා. ඔන්න එතකොට මමත් ආපහු පේරාදෙණිය භූමියට ආවා. දැන් පොල්ගොල්ලෙ විවෘත විශ්වවිද්‍යාලය තියෙන්නේ ඉස්සර දුම්බර මණ්ඩපය තිබුණ තැන තමයි. ….” පියදාස මහතා බොහොම උජාරුවට අතීතය සිහිපත් කළේය.

ස්වභාවික සෞන්දර්යයෙන් අනූන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට විරාජමාන අභිමානයක් එක් කළ තවත් එක් භූමි ප්‍රදේශයකි එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය. එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍යවේදියාණන් විසින් 1956 දී මනමේ නාට්‍යය බිහිකරන්නේය. එකල මනමේ නොසිතූ නොවිරූ අන්දමින් රට පුරා සුප්‍රසිද්ධියට පත්ව ඇත. “මනමේ නාටකය එළිමහන් රඟහලක රඟ දැක්වීම තරම් ප්‍රේක්ෂකයාට සමීප වන වෙනත් තැනක් නැත යි” සරච්චන්ද්‍රයෝ නිතර නිතර කියා ඇත. සරච්චන්ද්‍රයන්ගේ මේ ප්‍රකාශය පිළිබඳ විශ්වාසය තැබූ විශ්වවිද්‍යාලයේ එවකට විදුහල්පති (උප කුලපති) සර් නිකලස් ආටිගල මහතා මනමේ රඟ දැක්වීම පිණිස සුදුසු එළිමහන් තැනක් පිළිබඳ කතිකාවක් ඇති කළේ රට පුරා මනමේ ප්‍රසිද්ධ වී ඇති තරම දැනගෙන මිස වෙනෙකක් නිසා නොවේ. ගලහා මංසන්ධියේ සිට විශ්වවිද්‍යාලය මධ්‍යයේ වන මහ කන්ද මාර්ගයේ කිලෝමීටරයක් ඇතුළට වන්නට ඇති හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරය අසල භූමිය ඊට සුදුසු යැයි තීරණය වී තිබිණි. ඒ අනුව එදිරිවීර සරච්චන්ද්‍ර මහතා පියගැටපෙළක් සහිතව වළක් වැනි භූමියේ නාට්‍ය රඟ දැක්වීමට සුදුසු පරිදි බිම සැකසීමට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව 1958 පෙබරවාරි මාසයේ රාත්‍රියක මනමේ නාට්‍ය එහි රඟ දක්වා ඇත. වේදිකාව මත ගිනිකූරක් දැල්වුවද ඉහළ කෙළවරේ සිටින ප්‍රේක්ෂකයාට එම හඬ සියුම් ලෙස එලෙසම ඇසෙන පරිදි ස්වභාවික ශබ්ද විකාශනයකින් යුක්ත මෙම එළිමහන් රංග පීඨය ශ්‍රී ලංකාවේ හමුවන එකම ස්වභාවික ශබ්ද විකාශනයක් ඇති එළිමහන් රංග පීඨයයි. එය ග්‍රීසියේ එපිඩව්රස් ඇම්ෆිතියටරයට බෙහෙවින් සමාන කමක් දක්වයි. ඉදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ ආරම්භය සනිටුහන් වන්නේ එලෙසය. පනස් හයේ ඉදිවන මෙම එළිමහන් රංග පීඨයේ ආරක්ෂාවත් එහි නාට්‍ය දැක්වීමට වෙන්වන කාලපරාසයෙනුත් පිළිබඳ අවබෝධයක් සහිතව කටයුතු කිරීමට භාර වන්නේ පියදාස මහතාටය. කෙටියෙන්ම කියතොත් සරච්චන්ද්‍ර මහතා නිමැවූ වළ වේදිකාවේ වැඩිම කාලයක ආරක්ෂකයා වූයේ වළේ අංකල්ය.

“ එළිමහන් වේදිකාව ඒ කාලේ තිබුණේ පොල් අතු වියළා හදපු තැනක් විදිහට. ටිකට් කවුන්ටරයත් පොල් අතුවහළයක් සහිත පොඩි තැනක් විදිහටයි හදලා තිබුණේ. නාට්‍ය රඟපාන්න ආපු හැමෝම වළේ වේදිකාවේ පිටිපස්සේ හදලා තිබුණ තැනක ඇඳුම් ආයිත්තම් තියලා, වරින් වර දුවලා ගිහිල්ලා මාරුකරලා එනවා. මුල් කාලේ ඒවා තහඩුවලින් වෙන් කරලා තමයි තිබුණේ. ඒකාලේ රඟපානකොට අපේ ඇඟටත් ඒක දැනෙනවා. ගීත ගායනා කරනකොට දෙබස් කියනකොට වළේ ඉහළ කෙළවරේ ඉන්න කෙනාටත් ඒක ඒ විදිහටම ඇහුනා. මොකද මම දවසක් ගිහිල්ලා අහගෙන හිටියා එතනට දෙබස් ඇහෙනවද කියලා බලන්න. මම නාට්‍යයක් වේදිකාගත වෙනකොට හැමදාම වේදිකාව පිටිපස්සේ කොටසේ තමයි හිටියේ. ඒ වෙලාවට මටත් හිතෙනවා හයියෙන් දෙබසක් කියන්න… සරච්චන්ද්‍ර මහත්තයා උස මහත කෙනෙක් නෙවෙයි බොහොම පුංචි සිරුරක් තිබුණු කෙනෙක්. ඒ වුණාට වැඩ පුංචි නෑ. මට මතකයි ඒ කාලෙත් සරච්චන්ද්‍ර මහත්තයා ගැන ලෝකෙම කතා කරනවා .”වළේ අන්කල් හරිම අපූරුවට අතීතය සිහි කරන්නේය.

වළේ වේදිකාවේ මනමෙන් පසුව කදාවළළු, එළොව ගිහින් මෙලොව ආවා, වෙල්ල වැහුම්, සිංහබාහු ආදී සරච්චන්ද්‍ර මහතාගේ වේදිකා නාට්‍ය රැසක් වේදිකා ගත කළේය.

මෙරට ප්‍රසිද්ධ තලයේ වේදිකා නාට්‍ය නිර්මාණකරුවන් වන ජයලත් මනෝරත්න, සෝමලතා සුභසිංහ, දයානන්ද ගුණවර්ධන, බන්දුල ජයවර්ධන, සුගත් සමරකෝන්, ආර්. ආර්. සමරකෝන්, ධර්මසිරි බණ්ඩාරනායක ආදී නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍යය සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ රංග ගත කෙරිණි. ඒ සෑම නාට්‍යයක්ම වළේ අන්කල්ගේ ජීවිතයේ රසබර මතක සමග එක්වී තිබිණි.

“ සරච්චන්ද්‍ර මහත්තයාගේ නෝනා තමයි පහු කාලයේ මනමේ සිංහබාහු අරගෙන ආවේ. නෝනව දැක්කහම මාත් ටිකක් ගැස්සිලා යනවා. මොකද ඒ තරම් ප්‍රතාපවත් පෙනුමක් ඇයට තිබුණේ. මට මතකයි දුව එහෙම හරිම සීදේවි. අංකල් කිය කියා එහෙ මෙහෙ දුව පැන පැන හිටිය මට මතකයි. ජයලත් මනෝරත්න මහත්තයා ඒ කාලේ එන්නේ කෝ මේ අංකල් කොහෙද කියාගෙන. ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බන්දුල විජේවීර, රොඩ්නි වර්ණකුල, රත්නාලාලනී ජයකොඩි, මාදනී මල්වත්ත මේ හැමෝම මා එක්ක හරිම සුහදයි. නාට්‍යයකට ආවහම මම මට හැකි උපරිමයෙන් මේ හැමෝටම උදව් කළා. ඉතිං කවුරුත් එන්නේ මාව හොයාගෙන. අනිත් විශේෂම කාරණාව තමයි වළේ අස්සක් මුල්ලක් නෑර හැම තැනක් ගැනම මම හොදින් දැනගෙන හිටපු එක. මට මතකයි… වළේ නාට්‍ය බලන්න මහා සෙනඟක් ආවේ සිංහබාහු, මනමේ, මහාසාර වගේ නාට්‍ය බලන්න තමයි. පහු කාලයේ ජයලත් මනෝරත්න මහත්තයාගේ නාට්‍ය බලන්නත් මහ සෙනඟක් ආවා. ඒ නාට්‍යවල අපි හිතන්නැති තැන් වල හරීම හාස්‍ය රසයක් තිබුණා. ඒ වෙලාවට ප්‍රේක්ෂකයෝ හිනා වෙද්දි අවට ගහ කොළ පවා හෙළ වෙනවා. හරි සිරියාවක් තිබ්බා වළේ නාට්‍යයක් රඟ දක්වද්දී…..”

අතීතය රසවත්ය. එමෙන්ම හරවත්ය. නාට්‍ය කලාව හා බැඳුණු මත විශ්වාස පියදාස මහතාට ද’ හුරු වී තිබිණි. ඒ විශ්වාසයන් එපරිද්දෙන්ම සත්‍යයක් බවට සනාථ වූ අවස්ථාද තිබිණි. දින හතක් වළේ නාට්‍ය උළෙලක් පැවැත්වීම හරහා ඒ කතාව මතුවන්නේය. පේරාදෙණියේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ “වළ සතිය”යනු එක දිගට නාට්‍ය හතක් පෙන්වා නාට්‍ය රසය උද්දීපනය කිරීමේ ක්‍රමවේදයකි. වළේ පෙන්වන නාට්‍යයකට මහා සෙනඟක් පැමිණියහොත් නාට්‍ය සාර්ථකය. ඒ නිසාම ”රෑ වළ ගොඩනං නාට්‍යත් ගොඩ”රෑ කියා කියමනක්ද තිබේ. දින හතේ දී. වැහි නොවැටෙන්නට පියදාස අංකල්’ භාරහාර වෙන්නට පුරුදුව සිටියේය. ඒ ඔහු දන්නා කාලයේ සිටය. ඒ කියන්නේ වළ සතිය ඇරැඹූ කාලයේ සිටය. භාරහාර වූ පසුව ඇත්තටම ඒ දින හතට වැසි වැටුණේ නැති බව ද ඔහු කියන්නේය.

“ පොල් ගෙඩියයි, මල්වට්ටියයි, රුපියල් දහයයි පහනයි, හඳුන්කූරු ටිකයි අරගෙන ගිහිල්ලා මම ගැටඹේ පන්සලේ භාර වෙනවා. දින හතේ නාට්‍ය හතම සාර්ථකව පෙන්නගන්න හැකි වෙන්න වැස්සෙන් බේරලා දෙන්න කියලා. විෂ්ණු දෙවියන්ටත් පහන් පත්තු කරලා වැස්ස වළාහක දෙවියන්ට භාරවෙලා ආවට පස්සේ නාට්‍යකරණ හැමෝටම ඒ ගැන ලොකු විශ්වාසයකුත් තිබුණා. මං ගැන හැමෝම ප්‍රසාදයෙන් කතා කළා. වෙන දවස්වල වැස්සත් කවදාවත් වළ පිරෙන්න වතුර රැඳෙන්නෙ නෑ. මේවා හදල තියෙන්නෙත් විශ්වකර්මයකින් වගේ. අදටත් දරුවෝ මාව හොයාගෙන එනවා අනේ අංකල් දවස් හතේ නාට්‍ය ටික බේරලා දෙන්න භාර වෙන්නකෝ කියලා… මට පුදුම සතුටක් එතකොට දැනෙන්නේ.. විශ්‍රාම අරගෙන ගෙදර ආවට තවමත් මම ජීවත් වෙන්නේ විශ්වවිද්‍යාලයේ…”

වළ සතිය වැස්සෙන් බේරගන්න පනස් වසරක් ගැටඹෙ පන්සලට පඬුරු ගැට ගැසූ වළේ අංකල්…
වළේ අන්කල් කියන්නේ සොබාදහමේ දායාදයක් වගේ ය. ඔහු විශ්වවිද්‍යාලය තුළ’ කෙතරම් අවංකව ළෙන්ගතුව සහ කැපවීමෙන් වැඩ කළා ද කියා සියල්ලෝම දනිති. එදා සිට 2022 දෙසැම්බර් 22 දක්වා කාලය තුළ වළ වේදිකාවෙත් පශ්චාත් උපාධි ආයතනයේත් යතුර තිබුණේ අංකල් ළගය. 2015 වසරේ විශ්‍රාම යා යුතුව තිබුණ ද එතැන් සිට වරින් වර සේවා දිගු ලබාදෙමින් විශ්වවිද්‍යාලය තුළ අංකල් රඳවා ගැනීමට පරිපාලනය කටයුතු කර තිබිණි. එයින් උද්දාමයට පත්වන ඔහු ට ඒවා වචන බවට පෙරළුණේ මෙසේය….

” මම අවංකව සේවය කළ සේවයට අවුරුදු විසිපහක් පිරෙන කොට මට විශ්වවිද්‍යාල ලෝකඩ පදක්කමකින් සංග්‍රහ කළා. මගේ සේවය අගයලා හැමෝම කතා කළා. අන්තිමට ගෙදර එන දවසෙ පශ්චාත් උපාධි ආයතනයෙන් මට සමරු පලකයක් දුන්නා. ඒකේ ලියලා තියෙන දේ මං හුඟක් වෙලාවට ගෙදරදි කියවනවා. ඒ කියවන ගානේ මම විශ්වවිද්‍යාලය තුළ ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. අවුරුදු පනහකට කිට්ටු වෙන්න විශ්වවිද්‍යාලයේ ගත කළ කාලයේදී මට උදව් කරපු හැමෝම මං මේ වෙලාවේ මතක් කරනවා. උප කුලපතිවරු, මහාචාර්යවරු, ආචාර්යවරු, අනිත් හැම නිලධාරියෙක්ම ආරක්ෂක අංශයේ මහත්තුරු වගේම හැම දරුවෙක්ටම ස්තූති කරනවා. මට විශ්වවිද්‍යාලයේ ජීවත් වුණ කාලයේ සතුටින් වැඩ කරන්න පුළුවන් පසුබිමක් හදලා දුන්නට. ඒ වගේම සතුටින් මතක් කරන්න මතකයන් ඉතුරු කළාට…. ” දෑස් අග රැඳි කඳුළු බිඳු පිසිමින් ඔහු සිනාසුනේය. එයින් හැඟී ගියේ දෑසින් හැලුනේ සතුටු කඳුළු කියාය. ඔහුගේ මතකය නිරන්තරව අවදිවන විශ්ව විද්‍යාලයෙන් ලද තිළිණයේ සටහන මෙහි තබන්නට සිතුවෙමි..

“අමතක කරන්න එපා…
ඔබට ආදරේ කරන අයව…

අමතක කරන්න එපා …
සැපේ දී නැතත් දුකේදී ළඟ හිටපු අයව….

අමතක කරන්න එපා….
ඔබව සාධාරණ විවේචනය කළ අයව….

අමතක කරන්න එපා….
නුඹේ මුවට සිනහවක් ඇතිකළ අයව….

අංකල් ,

කොහොම අමතක කරන්නද….,?
අපේ හදවතට කතා කරපු ඔබව….!

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග බැඳුන මේ සුන්දර මතකය අපේ ජීවිතත් අලුත් කරන බව පියදාස අංකල් අපට මතක් කර දුන්නේය.

සමන්තී වීරසේකර

(දිවයින)

Related Articles