විදර්ශන සාහිත්‍ය ත්‍යාගය

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය මුද්‍රිත පොත් වෙනුවෙන් නොව අත්පිටපත් වෙනුවෙන් පිරිනමන ත්‍යාගයකි.

.”නවකතා අත්පිටපත් සඳහා, කාව්‍යමය අත්පිටපත් සඳහා, කෙටිකතා අත්පිටපත් සඳහා. මීට පෙර සිංහල භාෂාවෙන් පළ වූ නවකතා හෝ කෙටිකතා කෘතියක් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා නම් එම ඉංග්‍රීසියට පරිවර්තනය වූ අත්පිටපත් සඳහාත් අපි ත්‍යාගය පිරිනමනවා. ඩීආර් විජේවර්ධන සාහිත්‍ය සම්මානය පිරිනමපු අවස්ථාවේ අත්පිටපත් සඳහා තමයි සම්මානය පිරිනැමුවේ. ආධුනික, ප්‍රවීණ කියලා වෙනසක් නැතිව ලංකාවේ සාහිත්‍යකරණයේ නියැලෙන ඕනෑම කෙනෙකුට පුළුවන් මේ සඳහා ඉදිරිපත් වෙන්න. යම් කිසි ලේඛකයෙකුට මේ ක්ෂේත්‍ර හතරටම වුණත් අත්පිටපත් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා.” යැයි ඒ හි සංවිධායකයින් පවසති.

විදර්ශන ප්‍රකාශකයින් ගෙන් වැඩි දුරතොරතුරු :

“මේ ඇගයුම් මණ්ඩල සාමාජිකයින් කවුද කියලා කෘතීන් භාර ගැනීමට පෙර සිටම අපි දැනුවත් කරනවා සහ ප්‍රසිද්ධ කරනවා. නවකතා ඇගයුම් මණ්ඩලයේ මහාචාර්ය ප්‍රභා මනුරත්න, රංජිත් පෙරේරා සහ විදර්ශන කන්නංගර ඉන්නවා. කාව්‍ය ඇගයුම් මණ්ඩලයේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, රත්න ශ්‍රී විජේසිංහ සහ නන්දන වීරසිංහ.

කෙටිකතා ඇගයුම් මණ්ඩලයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, අනෝමා රාජකරුණා සහ අශෝක හඳගම ඉන්නවා. සිංහල කෘතියක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ ඇගයුම් මණ්ඩලයේ මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, ආචාර්ය සසංක පෙරේරා සහ අමීනා හුසේන් ඉන්නවා. ”

සාහිත්‍ය ත්‍යාගයේ සංවිධාන කටයුතු, මූල්‍ය අනුග්‍රහය සහ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විතරයි විදර්ශන ප්‍රකාශන ආයතනය සහභාගි වෙන්නේ. ඇගයුම් ක්‍රියාවලියට සහ සාහිත්‍ය ඇගයුම් ක්‍රියාවලියේ සාමාජිකයින් අනාගතයේ පත්කර ගැනීම, නිර්ණායක ඉදිරිපත් කර ගැනීම වැනි කටයුතු සඳහා අපි ප්‍රධාන කමිටුවක් පත්කරලා තියෙනවා. එම කමිටුවේ කඳවුම්කාරිනිය අනෝමා රාජකරුණා. මහාචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල සහ රන්ජිත් පෙරේරා මේ අගයුම් කමිටුවේ ප්‍රධානීන්.

ජනවාරි මාසයේ 12 සිට මැයි මාසයේ 15 දා දක්වා අත්පිටපත් භාරගන්නවා. අගෝස්තු මාසයේ පළවෙනි සතියේ දැනුවත් කරනවා අවසාන වටය සඳහා තෝරා ගැනෙන කෘතීන් එක් කාණ්ඩයකින් තුන බැගින්, ඒ මොනවාද කියලා. සැප්තැම්බර් මාසේ 1දා ආරාධිතයින් 150ක් පමණක් සහභාගි වෙන සුවිශේෂ උත්සවයේ දී විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සහ එක් ජයග්‍රාහකයෙක්ට 150,000ක මුදල් ත්‍යාගය බැගින් පිරිනමනවා. අවසන් වටයට තේරී පත්වන අනෙකුත් කෘතීන් දෙක වෙනුවෙන් රුපියල් 25,000 බැගින් පිරිනමනවා.

මේ ඇගයුම් මණ්ඩල සඳහා ඉදිරිපත් වන කෘතීන්වල අත්පිටපත් ඉදිරිපත් කළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ නම සඳහන් වෙන්නේ නැහැ. අයැදුම් පත්‍රය වෙනයි, අත්පිටපත වෙනයි. ඇගයුම් මණ්ඩලයේ සාමාජිකයින් මුල් වටයේ කෘතීන් ඉදිරිපත් කළ ලේඛකයා හෝ ලේඛිකාව කවුද කියලා දන්නේ නැහැ. ඔවුන් එය දැනගන්නේ අවසාන වටය සඳහා කෘතීන් තුනක් තෝරා ගැනුණාට පසුවයි. ඒ වගේම මෙයින් ජයග්‍රහණය ලබන කෘතීන් විදර්ශන ප්‍රකාශන ආයතනයෙන්ම පළ කරන්න ඕනෑ කියලා නියමයක් නැහැ. තමන් කැමති ඕනෑම ප්‍රකාශන ආයතනයකින් කෘතීන් පළ කරන්න පුළුවන්. ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වලා දින 14ක් ඇතුළත, සැප්තැම්බර් 15ට පෙර මේ කෘතීන් මුද්‍රණයෙන් එළිදක්වන්න අපි සැලසුම් කරනවා. පිරිනමන සාහිත්‍ය ත්‍යාගයෙන් පස්සෙත් මේ ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. ඉන් පසුවත් ජයග්‍රහණය කරන කෘතීන් වෙනුවෙන් අපි විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් හදලා වෙළඳපළ වෙත යවන්න කටයුතු කරනවා.

විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ පූර්ණ ක්‍රියාවලිය තුළම ඉතාමත් විනිවිදභාවයකින් කටයුතු කරනවා. ජනවාරි 12 ඉඳලා අපේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන් මේ ඇගයුම් මණ්ඩල සාමාජිකයින් පිළිබඳව, ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව. මේ අත්පිටපත් පීඩීඑෆ් එකක් ලෙසත් ඊ මේල් කරලා එවන්න පුළුවන්. ඕනෑනම් මුල් පිටපත බැඳලා අප වෙත එවන්නත් පුළුවන්. ඒ වගේම තමයි සම්මාන උත්සවය පවත්වලා, සාහිත්‍ය ත්‍යාගය ප්‍රදානය කරලා පැයකට පසුව ඩසා්රිය්බ්කසඑචරස‘ැගජදප හරහා මේ ඇගයුම් මණඩල සාමාජිකයින් විසින් කෘතීන් පිළිබඳව ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තා කියවන්න පුළුවන්. මේ සමීක්ෂණ වාර්තා සාහිත්‍ය සමාජය තුළ ප්‍රශ්න කිරිමට, විචාරයට ලක් කිරීමට අවශ්‍ය නම්, ඇගයුම් මණ්ඩල සාමාජිකයින් සමග සංවාද කිරීමට අපි ඒ පහසුකමත් සලසා දෙනවා. 2026 වසරේ දී අපි බලාපොරොත්තු වෙනවා විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන අත්පිටපත් සලකා බලන්න.

අත්පිටපත් කියන කාරණාව ගැන තව දුරටත් පැහදිලි කළොත්.
ලෝකයේ සාහිත්‍ය ත්‍යාග ලබාදීමේ ක්‍රමවේද දෙකක් අනුගමනය කරනවා. එකක් තමයි අත්පිටපත් ලෙස භාරගෙන ඒවාට ඇගයුම් ලබාදීම. දෙවැනි එක වසරක් තුළ මුද්‍රණය වූ කෘති සඳහා ඇගයුම් ලබාදීම. ලංකාව තුළ බහුතරයක් සම්මාන ලබා දෙන්නේ අදාළ පෙර වසරේ මුද්‍රණය වූ කෘති සඳහා. ඒ නිසා අපි කල්පනා කළා දැනට මුද්‍රිත කෘතීන් සඳහා සම්මාන උත්සව තියෙන නිසා, අත්පිටපත් ලෙස ලෝකයේ තියෙන මෙවැනි වර්ගයේ සාහිත්‍ය ත්‍යාගයක අවශ්‍යතාවක් අපේ සාහිත්‍ය සමාජයට තියෙනවා කියලා.

මේ ආකාරයේ සාහිත්‍ය ප්‍රදානෝත්සවයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මොකද්ද?
සාහිත්‍ය සම්මාන පිළිබඳව ලංකාවේ සමාජය තුළ විවිධ අදහස් තියෙනවා. සාහිත්‍ය සම්මාන ලබන කෘතීන්වලට තියෙන පිළිගැනීම අඩුවෙලා තියෙනවා. ඒකට බලපාන එක හේතුවක් තමයි ඇගයුම් මණ්ඩල සහ ඇගයුම් මණ්ඩල ක්‍රියාවලිය පිළිබඳව විවිධ විවේචන සහ අදහස් පැවතීම. ඒක නිසා අපි කල්පනා කළා අපි විශ්වාස කරන විදියට සාහිත්‍ය පිළිබඳව ඇගයුමක් ලබා දෙන්න, සාහිත්‍ය පිළිබඳව නිර්ණායක ලබාදිය හැකි පිළිගත් ආකාරයකට කටයුත්තක් ලංකාව තුළ සංවිධානය වෙන්න ඕනෑ කියලා.

දෙවැනි කාරණය, ලංකාවේ ප්‍රකාශන කර්මාන්තය ඉදිරි වසර දෙක තුන තුළ කඩාවැටීමේ අවදානමක් ප්‍රකාශකයෙක් ලෙස මට පෙනෙන්න තියෙනවා. මම ඒක පූර්වකථනය කරනවා. සාහිත්‍ය සමාජයක් ඇතුළේ සාහිත්‍ය සංවාදය නිරෝගීව පවත්වා ගැනීම සඳහා සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය ත්‍යාග, සාහිත්‍ය සංවාද, සාහිත්‍ය නිර්ණායක ඉදිරිපත් කිරීම වගේ දේවල් සක්‍රියව තියෙන්නට ඕනෑ කියලා මම හිතනවා. ලංකාවේ සාහිත්‍ය සමාජය තුළට මෙවැනි සාහිත්‍ය ත්‍යාගයක අවශ්‍යතාව බොහොම ඉක්මනින්ම දැනෙනවා. ඒ පූර්වකථනය අනුව තීරණය කරලා තමයි විදර්ශන ප්‍රකාශන ආයතනය ලෙස අපි මේ කටයුත්ත සංවිධානය කරන්නේ.

ලංකාවේ සාහිත්‍ය පාඨක සමාජය කුමන ආකාරයේ තැනකට ගෙනයාමටද මේ වෑයම.
සාහිත්‍ය සම්මාන වේවා, සාහිත්‍ය ත්‍යාග වේවා ඕනෑම සමාජයක තියෙන්නේ අදාළ සමාජය සාහිත්‍ය කියවන පරිශීලනය කරන අයට උසස් සාහිත්‍ය කෘතියක් යනු කුමක්ද යන්න පිළිබඳව නිර්ණායක ලබාදීමට. මෙන්න මෙවැනි සාහිත්‍ය කෘති පළ වුණොත්, මෙවැනි සාහිත්‍ය කෘති ලියැවුණොත් අප වෙසෙන සාහිත්‍ය සමාජයේ සාහිත්‍යය ඉහළ තැනකට ගෙනයන්න පුළුවන් කියලා යම් නිර්ණායකයක් ලබාදීමක් තමයි වෙන්නේ. සාහිත්‍ය රස වින්දනය, සාහිත්‍ය ඇගයුම කියන්නේ සාපේක්ෂ අර්ථ සහිත දෙයක්. නිරපේක්ෂ නැහැ. හදලා ඉවර කළ සාහිත්‍ය නිර්ණායක, හදලා ඉවර කළ ඇගයුම් මණ්ඩල තීරණ කියලා දේවල් නැහැ. සාහිත්‍ය රසවින්දනය, රසවින්දන දැනුමේ පරාසය අනුව අදහස් වෙනස් වෙන්න පුළුවන්.

මේ ඇගයුමට ලක්කරන කෘතිය පිළිබඳව තව කෙනෙකුට තවත් අදහසක් තියෙන්න පුළුවන්. සාහිත්‍ය රසවින්දනයේ සහ සාහිත්‍ය ඇගයුමේ ස්වභාවය ඒක තමයි. ඒ නිසා විදර්ශන සාහිත්‍ය ත්‍යාගය තුළ ලෝක සාහිත්‍යයේ නවකතාව, කෙටිකතාව, කාව්‍ය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙන, ඒ ගැන අවධානයෙන් සිටින පිරිස් තමයි ඇගයුම් මණ්ඩල සාමාජිකයින් ලෙස පත්කරලා තියෙන්නේ. ඔවුන් තුළ තිබෙන පුළුල් අවබෝධය දැනුම ඇතුළේ තමයි මේ සාහිත්‍ය ඇගයුම ලබාදෙන්නේ. ඒ ඇගයුම ලාංකීය සමාජයට වැදගත් වෙනවා. මෙවැනි උගතුන් බුද්ධිමතුන්ගෙන් සැදිච්ච කණ්ඩායමක් මගින් උසස් යැයි නම් කරන එක මොන තරම් වැදගත්ද කියන දේ සාහිත්‍ය සමාජයට ප්‍රයෝජනවත් වෙනවා. ඒක තමයි ඕනෑම සාහිත්‍ය සම්මානයකින්, ත්‍යාගයකින් බලාපොරොත්තු වන කාර්යය. ඒක වඩාත් ශක්තිමත් කරන්න තමයි අපි විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පවත්වන්නට කටයුතු කරන්නේ.

අවසාන වශයෙන් ඔබට සාහිත්‍ය රසවිඳින කියවන පාඨකයන්ට මේ ගැන පණිවිඩයක් ලබා දෙන්නට තියෙනවානම් අපිට පුළුවන් ඒ ගැන කතා කරන්න.
විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ ආරම්භක අවස්ථාව තමයි මේක. ආරම්භක අවස්ථාවේදී ම මේ වෙනුවෙන්ම වෙන් වෙච්ච ඉතා ඉහළ මට්ටමේ වෙබ් අඩවියක් www.vidarshanalitprize.com අපි භාවිතා කරනවා, යූ ට්යුබ්, ටික් ටොක්, ෆෙස් බුක් ඇතුළු සමාජ ජාලාවල මේ පිළිබඳව වෙන් වෙච්ච පිටුවක් භාවිතා කරනවා. මේ සියලු දෙයකින්ම යම්කිසි ආකාරයකට ජාත්‍යන්තර මට්ටමේ තියෙන ප්‍රමිතියක් සංවිධාන ක්‍රියාවලිය තුළට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

අපේ උත්සවය පවා දැනටමත් සංවිධාන කටයුතු කරමින් පවතිනවා. අපි සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පලවෙනිදාට තමයි මේ උත්සවය පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඉන්න ප්‍රවීණ ආධුනික ලේඛක ලේඛිකාවන් බොහෝ දෙනෙක් මේ සඳහා අත්පිටපත් ඉදිරිපත් කරයි කියලා. අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ජාත්‍යයන්තර ප්‍රමිතියෙන් යුතු සාහිත්‍ය උලෙළක් සහ ත්‍යාගයක් පිරිනැමීමට.

Related Articles