සියවසක් ගතවීත් අරුනාචලම් ගේ ලාංකික බව සිහිනයකි

සියවසක් ගතවීත් අරුනාචලම් ගේ ලාංකික බව සිහිනයකි

මැතිවරණ කාල සීමාවක් එළඹෙන විට දකුණේ දේශපාලනඥයන් හැකි අයුරින් උත්සාහ දරන්නේ උතුරේ දෙමල ජනතාවගේ ජන්දය තමන්ට වාසිදායක ලෙස අවභාවිතා කිරීමටයි . දෙමළ ජනයාගේ ගැටළුවලට විසදුම් ලබාදෙන බවට කලින් කලට දුන් පොරොන්දු ඉටුකිරීමට මෙතෙක් දකුණේ කිසිදු රජයක් සමත් වී නැත මේ බව උතුරේ මෙන්ම දකුණේ ජනතාවත් හොඳාකාරව අවබෝධ කර ගෙන සිටිති. දෙමල පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් හෝ තම අපේක්ෂිත අරමුනු ඉටු නොවුණු බවටයි උතුරේ දෙමල ජනතාව පවසන්නේ.

යලිත් ඒ සම්බන්ධයෙන් සංවාද විසංවාද ආරම්භ වෙමින් තිබෙන්නේ ජනවාරි 09 වැනිදාට යෙදුනු, දෙමල ජනතාවගේ ගැටළු වෙනුවෙන් ප්‍රබල හඬක් නැඟු ජාතික නායකකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතාගේ 100 වැනි අනුමස්මරණය සිහිපත් කෙරෙන අවස්තාවක. 1924 ජනවාරි 09 වැනිදා ඔහු අභාවප්‍රාප්ත විය.

දේශපාලකයකු, වියතෙකු සහ නීති විශාරධයකු වූ නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා ක්‍රියා කල දේශප්‍රේමිකයකු ලෙස ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතා හඳුනා ගැනේ. ඔහු ජාති, හෝ ආගම් භේද හෝ නොතකා සේවය කල නායකයෙකි.

1915 හටගත් සිංහල මුස්ලිම් ගැටුම පාලනය කිරීම පිණිස යටත් විජිත ආණ්ඩුකාරයාව සිටි රොබර්ට් චාම(ර්)ස් අනුගමනය කලේ දැඩි මර්ධනකාරී ක්‍රියාමාර්ගයකි. සිංහල නායකයන් ඇතුළු පිරිසක් ඝාතනය කල අතර තවත් පිරිසක් අඩංගුව ගනු ලැබුහ. අත්අඩංගුවට ගත් සිංහල ජන නායකයන් නිදහස් කරගැනීමට ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා සමඟ එක්ව ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතා ක්‍රියා කළේය.

නිදහස් සටනේ අඩි තාලමක් ලෙස, එවක සිංහල නායකයන් සමඟ එක්ව 1919 වසරේදී ලංකා ජාතික සංගමය පිහිටුවා ගැනීමට පුරෝගාමීවුයේ අරුනාචලම් මහතායි. යටත් විජිත පාලනයෙන් ශ්‍රී ලංකාවට දේශපාලන බලය ලබා ගැනීම පිනිස බලපෑම් කිරීම ජාතික සංගමයේ අරමුණ විය.

අරුනාචලම් මහතා දෙමල ජාතිකන්ගේ ගැටළු විසඳීමට මෙන්ම සිංහල ජාතීන් ඇතුළු සියලු වැසියන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට යටත් විජිත නායකයනට බලපෑම් කිරීමේ එක්සත් මෙහෙවරක් ඉටුකල නායකයෙකි. ඒ ශ්‍රී ලංකාවට දේශපාලන, සමාජීය සහ ආර්ථික නිදහස ලබා ගැනීමේ සටනයි.

අද දක්නට, අසන්නට ලැබෙන්නේ එම අරමුණු වඩාත් සංවර්ධනය කරමින් පෙරට යන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයන්ද යන්න ජනතාව නිරන්තරයෙන් විමසීමට ලක් කරන්නේ එවැනි නාකයන් පිළිබඳව සිහිපත් කරන විටදීයි. ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් පෙනී සිටි සමාන අයිතිවාසිකම්, සාධාරණ සමාජය සහ සංහිඳියාව වරින් වර කතාවට පමණක් සීමාවූ මාතෘකා බවට පත්ව තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත දකුණේ නායකයන් දෙමළ ජනයාගේ ජන්දය ලබා ගැනීමේ උපක්‍රම ගැන නම් මේ වන විට සූදනම් වන බවක් පෙනෙන්ට තිබේ. දිගින් දිගටම කරන මේ රැවටීම විනා දෙමල ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේ පැහැදිලි ක්‍රියාමාර්ග නම් මෙතෙක් දක්නට නැත. 13 වැනි සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට වත්මන් නායකයන් වරින් වර කියා සිටින්නේ ජාත්‍යන්තර වශයෙන් කෙරෙන බලපෑම් හේතුවෙන් යැයි අනුමාන කල හැකි අතර, ඊට දකුණෙන් එල්ලවන විරෝධයද බලපාන බව නොරහසක්.

ඉදිරි ජනාධිපතිවරණයට උතුරෙන් පොදු අපේක්ෂයකු ඉදිරිපත්කරන බව දෙමල නායකයෝ මේ අතර ප්‍රකාශ කරති. දෙමල ජනතාවගේ බලය පෙන්වීමට එය අවස්තාවක් කරගන්නා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් තමන්ට දෙමල නායකන්ගෙන්ද ප්‍රමාණවත් මෙහෙයක් මෙතෙක් ඉටුවී නැති බව දෙමල ජනතාවගෙන් නැගෙන චෝදනාවක්.

හින්දු සංස්කෘතියේ පුනරුදයක් ඇතිකිරීමටත්, හින්දු හා බෞද්ධ ආගම්වල වර්ධනය උදෙසාත් කටයුතු කල ශ්‍රීමත් පොන්නම්බලම් අරුනාචලම් මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. එම මෙහෙය සැමරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අරුණාචලම් ශාලාව එතුමන් නමින් නම් කොට ඇත.

 

විමලසේන හේවගේ

Related Articles