ආගමික  ස්ථාන  විදුලි  බිල සම්බන්ධයෙන් නගන  හඬ සාධරණද ?

ආගමික ස්ථාන විදුලි බිල සම්බන්ධයෙන් නගන හඬ සාධරණද ?

පොදුවේ විදුලි ගාස්තු ඉහල දැමීම පීඩාකාරිය එහෙත් ආගමික ස්ථාන වලට පමණක් විශේෂ සහන ඉල්ලා සිටීම පිළබඳව සංවාදයක් මතුවී තිබේ.

“මම දැක්කා ඊයේ පෙරේදාත් මට චෝදනා එල්ල කරමින් සංඝ ආඥාවක් ඉදිරිපත් කරන්න යනවා මට විරුද්ධව. මට ඡන්දය දෙන්න එපා කියලා කියන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මට විරුද්ධව මොන ප්‍රකාශ කළත් මට කියන්න තියෙන්නේ, විදුලිබල ඇමතිවරයා හැටියට විදුලිබල මණ්ඩලය තවදුරටත් මුල්‍යමය වශයෙන් පරිහානියට පත් කරන්න බැහැ.” යැයි අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

විදුලි බිල වහා අඩු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සර්ව ආගමික නායකයින් සැප්තැම්බර් 20 වැනිදා කොළඹට රැස්විවුහ. එහෙත් මේ වන තෙක් ආණ්ඩුවේ තීරණය වෙනස්වී නැත.

කොටුව දුම්රිය පොල ඉදිරි පිටින් ආරම්භ වූ සර්ව ආගමික නායකයින්ගේ පා ගමනට වෘත්තීය සමිති, බහුජන සංවිධාන මෙන්ම මහජන සභාවේ නියෝජිතයින්ද සහභාගි වූහ.

“ගෙවන්න බැහැ. ගෙවන්නේ නැහැ”

“ගෙවන්න බැහැ. ගෙවන්නේ නැහැ” වැඩි වූ විදුලි බිලට එරෙහි මහජන විරෝධය යන්න තේමා කරගනිමින් විරෝධතාව පැවැත්විණ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි අවධාරණය කළේ, විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීම සඳහා යෝජනා 12ක් සකස් කර ඇති බවයි.

ඒ පිළිබඳ පැහැදිලි කළ පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි අවධාරණය කළේ, “විදුලි බල මණ්ඩලයට පාඩු නම්, විදුලි බල මණ්ඩලයේ සල්ලි නැත්නම්, අපි කියන්නම් විදුලිබල මණ්ඩලයට සල්ලි හම්බකරන විදිහ. විදුලිබල මණ්ඩලයේ තියෙන පාඩු පියවා ගෙන අතිශයින් විශිෂ්ට ආකාරයෙන් ලාභ ලබන ක්‍රමය අපි කියන්නම්. ඒ කියන ක්‍රම යෝජනා 12ක් අපි හරි ගස්සලා තියෙනවා. ඒ 12 අරගෙන අපි සූදානම් වෙනවා විදුලිබල ඇමතිතුමා හමුවෙන්න.”

සොභිත නාහිමියන් පෙන්වා දුන්නේ, “රුපියල් බිලියන 36ක් අතහැරලා තියෙනවා, දේශපාලන හොරුන්ට, තක්කඩින්ට. ඇමතිතුමා කියනවා විදුලි බලය පිරිමහන්නලු, පිරිමහන්න ඒගොල්ලෝ කියන්න ඕනේ නෑනේ. මේ සල්ලි යන්නේ අපේ අතින් නම් අපි දන්නවා පිරිමහන්න. සෝලා පැනල් හයි කරගන්න, කරුණාකරලා ආණ්ඩුවෙන් කරලා දෙන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට නම් ඒසා විශාල මුදලක් වැය කරන්න සල්ලි නැහැ.”

ජනතාවද පවසන්නේ, ගෘහස්ථ විදුලි ගාස්තු වැඩි කිරීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, කිසිලෙසකින් තම ආදයම වැඩි වී නොමැති බවයි. ආහාර ඇතුලු සියලු ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම හමුවේ විදුලි බිලද වැඩි විම තමන්ට අමතර බරක් වී ඇතැයි මහජනතාව පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ මහජනතාවට ඔවුන්ගේ වැඩිවූ විදුලි බිලට සහනාධාර ලබාදිය යුතු බවයි.

ආගමික ස්ථානවලට නොදෙන සහන ව්‍යාපාරිකයන්ට දෙන්නේ කුමන පදනමකින් ද? පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසන්නේ මේ දක්වා තමන් ගෙවමින් සිටියේ රුපියල් 12,000 ක විදුලිය බිලක් බවත් මේ වන විට එම බිල රුපියල් 60,000 ක් වී ඇති බවත්ය.

ඒ අනුව වැඩි වූ 60,000 ක බිල නොගෙවා දිගටම රුපියල් 12,000 ක් පමණක් ගෙවීමට තීරණය කර තිබෙන බව උන් වහන්සේ පැවසූහ.

වැඩි වූ විදුලි බිල නොගෙවීමට භික්ෂූන් වහන්සේලා තීරණය කර ඇති බව පවසන මැදගොඩ අභයතිස්ස හිමියෝ පන්සලේ විදුලිය විසන්ධි කළහොත් ඊට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වගකිව යුතු බවද පවසති.

Related Articles