කුවේට්හි වෙඩි කෑ සාගර අසරණයි

කුවේට්හි වෙඩි කෑ සාගර අසරණයි

කුවේට්හි හෝටලයක ආහාර ඇණවුම් නිවසට ගෙන යාම ප්‍රමාද වූ හෙයින් වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටින රාජාංගනයේ සාගර ලක්ෂ්මන් ඉතා අසරණ තත්වයකට පත්ව සිටින බව ඔහුගේ බිරිඳ වන චන්ද්‍රිකා අධිකාරි පවසන්නීය.

“මහත්තයා අරන් ගිය ආහාර ඇණවුම පරක්කු වුණා කියලා ඒක භාර ගන්න හිටි පුද්ගලයා මහත්තයට වෙඩි තියලා. එයා වෙඩි කාගෙන ම මෝටර් රථය පදවගෙන ඇවිත්. පස්සේ එයා රෝහල් ගත කරලා. උගුරේ ඉඳලා බඩට වෙනකල් මැහුම් හතළිහක් දාලා. දැන් රෝහලෙන් ටිකට් කපලා එම්බසිය භාරෙ ඉන්නවා. එයාට සම්පූර්ණ සුවය ලබා ගන්නත්, අපට ජීවත් වෙන්නත් ක්‍රමයක් නැහැ. අපට පිහිට වෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලනවා.” යැයි බිරිඳ පැවසුවාය .

වසර 9ක් තිස්සේ කුවේට්හි මෙම හෝටලයේ සේවය කරන සාගර ලක්ෂ්මන්ගේ තත්ත්වය පිළිබඳ ලංකා මානව හිමිකම් සංවිධානය කටුනායකදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී චන්ද්‍රිකා අධිකාරි මෙසේද කීවා ය.

“එයා මෙහේ පෙදරේරුවරයෙකු වශයෙන් වැඩ කළා. දුවලා දෙන්නට අධ්‍යාපනය ලබා දෙන්න ඕනෑ නිසා ගෙයක් හදා ගන්න ඕනෑ නිසා එයා කුවේට්වල රැකියාවට ගියා.”

“එයා අන්තිම වරට ලංකාවට ඇවිත් ගියේ 2022 ඔක්තෝබර් මාසෙ 25 වන දා.”

“මහත්තයා කුවේට්වල අවුරදු 9ක් වැඩ කළ හන්දා එහෙ පාරවල් ගැන හොඳට ම දන්නවා. පහුගිය 2024 ජනවාරි මාසයේ 10 වන දා පාන්දර 04:00ට ජහරා ප්‍රදේශයේ පුද්ගලයෙකුට ආහාර ඇනවුමක් භාර දීමට පිටත් වෙලා තියෙනවා. ඒත් යා යුතු ගමන් මාර්ගය සහ භාර දිය යුතු ස්ථානය නිවැරදිව දීලා තිබිලා නැහැ. ඒ නිසා ඒ ඇනවුම භාර දීමට නියමිත ස්ථානය ගැන යළිත් හෝටලයට කතා කරලා හොයා ගෙනයි ගිහිල්ලා තියෙන්නේ. මේ හන්දා පමා වෙලා තියෙනවා.”

“අවසානයේ නියමිත ස්ථානයට ගිහින් ආහාර ඇණවුම භාර දෙන්න හදන විට, එය භාර ගන්න සිටි පුද්ගලයා මහත්තයට වෙඩි දෙකක් තියලා තියෙනවා. ඒ වෙඩි පහර කාගෙන එයා මෝටර් රථයෙන් ටික දුරක් ඇවිත් බැරිතැන එයාගෙ ඉන්දීය යාළුවකුට කතා කරලා රෝහල්ගත වෙලා තියෙනවා. එයාට රෝහලේදී උගුරේ සිට බඩ දක්වා මැහුම් 40ක් දාලා තියෙනවා. මේ වනවිට රෝහලෙන් පිටවෙලා තානාපති කාර්යාලය භාරෙ ඉන්නවා. ඒත් ඇවිදින්න බැහැ.”

“ජනවාරි මාසයේ ඉඳලා අපිට ජීවත් වෙන්න මුදල් නැහැ. ලොකු දුව 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පොඩි දුව 5 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පන්ති යන්න විදිහක් නැහැ.”

වෙඩි වැදීමෙන් අසරණ වී සිටින සාගර ලක්ෂ්මන් සේවය කළ හෝටලයේ අයිතිකරු ඔහුට මාස 5ක වැටුපක් ලබා දී ශ්‍රී ලංකාවට එවීමට උත්සාහ ගෙන ඇති බවත් මේ වනවිට මෙම ගැටලුව කුවේට් අධිකරණය වෙත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් යොමු කරනු ලැබ ඇති බවත් වෙඩි තැබූ පුද්ගලයා ද හඳුනාගෙන ඇති බවත් චන්ද්‍රිකා අධිකාරි කීවා ය.

මොවුන්ගේ සහයට මානව හිමිකම් සංවිධානය මගින් ඉදිරිපත් වී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ යජීෂ් තෙන්නකෝන් පැවැසුවේ මේ පිළිබඳ කඩිනම් සාධාරණ විමර්ශනයක් සඳහා තමන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත පැමිණිලි කර ඒ මගින් කුවේට් රාජ්‍යය වෙත අවශ්‍ය පියවර ගැනීමට යොමු කරන බව ය.

Related Articles