ආරියරත්න වනස්පති  ලකුණ

ආරියරත්න වනස්පති ලකුණ

ආචාර්ය ඒ ටී ආරියරත්නයන් පුරා වසර අනු දෙකක දිවි මගෙන් සමු ගන්නේ දැවැන්ත වනස්පතියක ලකුණු ඉතිරි කරමිනි .
මෙවන් මිනිසුන් මිය ගිය විට ඇති වන්නේ අනේ මේ මනුස්සයා තව ටික දවසක් හරි හිටියා නම් හොඳයි නේද යන සිතුවිල්ලයි.

 

ඒ දැවැන්ත වනස්පතියක ලකුණයි .

ඒ ටී ආරියරත්නයන් බොහෝ දෙනාට සිසිලක් විය . සංවර්ධනය යනු හැක තරමක් ගොඩ ගැසීම නොවන බව ඔහු කියා දුන්නේ ජීවිත ආදර්ශයෙනි .
මීට දශක හයකකට පෙර නාලන්දාවේ කෙසඟ ගුරුවරයෙක් කුරුනෑගල කනතොලුව ගම්මානයේ ශ්‍රාමදාන කඳවුරක් පවත්වන විට ඒ සර්වෝදය නම් විශ්ව සම්භාවනාවට පත්වෙන ව්‍යාපාරයක් වෙතැයි ආරියරත්නයන් හිතන්නට නැත .

ඉන්දියාවේ ගාන්ධි සාම ත්‍යාගය , පිලිපීනයේ රැමෝන් මැග්සයිසේ සම්මානය ආදි සම්මාන සිය ගණනකින් පිදුම් ලද මේ පුංචි මිනිසා විශ්වයට ඊට වඩා වැඩි යමක් එක් කොට තිබේ. ඒ ලතෙත් ගුණයේ වැදගත්කම අවධාරණය කිරීමයි.

ආරියරත්නයන් ගේ දිවි මගෙහි රුව ගුණ විමසමින් ප්‍රවීන පරිපාලන නිලධාරී ඔස්ටින් ප්‍රනාන්දු තැබූ ජන්ම දින සැමරුම්
සටහනකි මේ :

අත් ලොවක වෛෂ්ණවයා- ආචාර්ය ඒ ටී ආරියරත්න

“වෛෂ්ණවයකු යනු කවරෙක් ද? අනුන්ගේ පීඩාව හඳුනන්නෙකි; අනුන්ගේ දුකෙහිදී උපකාර කරන්නෙකි; උපකාර කළායයි කියා මානයට පත් නොවන්නෙකි” පහලොස්වන ශතවර්ෂයේ දී නරසින්ග් මෙහෙතා කිවිවරයා විසින් රචනා වූයේයැයි පැවසෙන ‘වෛෂ්ණව ජන තෝ’ නැමති භජන් ගීයේ වදනින් ම වසර හතලිස් පහක් පුරා මගේ කල්‍යාණ මිත්‍රයා වන ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් ට සිය අනූවන ජන්ම දිනයේදී සුභපතන්නේ මගේ හදවතේ මෘදු ම, සියුමැලිම තැනකිනි.

ආරිට වයස අනූවකි. ජීවත්ව සිටියොත් ලබන වසරේ මට වයස අසූවකි. අපි බොහෝ කලක සිට මිහි මත ඇවිදින්නෙමු. අපේ ඇස් වලින් අපි දරුණු දුක් දැක ඇත්තෙමු; දිළිඳු බවේ තිත්ත රසවිඳ ඇත්තෙමු; යෞවනයන් මහ මග මියෙනු දැක ඇත්තෙමු; සමාජ පරිවර්තනයන් දුටුවෙමු; ඉතිහාසය ලියවුනු- ගොඩ නැගුණු තැන් වල අපි හිඳ ඇත්තෙමු; බලය රස විඳ ඇත්තෙමු; බලය අතහැර ඇත්තෙමු; ප්‍රජාත්නත්‍රවාදය කෙළෙසෙනු දැක ඇත්තෙමු; නමුත් යුක්තිය යලිදු හිස ඔසවනු ද දැක ඇත්තෙමු; සොහොයුරන් අවි දරණු දැක ඇත්තෙමු; අපේ මවු පියන් මියෙනු දුටුවෙමු; අපේ මිතුරන් මෙලොවින් සමු ගනු දැක ඇත්තෙමු; දරුවන්ගේ මෘත දේහ සිය කරපිටින් රැගෙන ගිය පියවරුන් දැක ඇත්තෙමු. පුතුන් ගේ කර පිටින් අවසන් ගමන් යන්නට පැතූ මවු වරුන්ගේ හදවත් පුතුන් ගේ සොහොන් පාමුල දැදුරු වනු දුටුවෙමු; අප ගොඩනැගූ සාමයේ මහ ගස් ජාතිවාදයේ කියත් වලින් බිම හෙලනු දුටුවෙමු; නමුත් ග්‍රීක පුරාවෘත්තයක වූ ප්‍රොමිතියස් ගේ අක්මාව මෙන් කෙතරම් ගිජු ළිහිණියන් ආක්‍රමණය කළ ද සැප දුක සමබර ලොවෙහි මනුෂ්‍යත්වය පිලිබඳ අපගේ බලාපොරොත්තුව කිසිම දා මිය ගියේ නැත.


ආරි, ඔබ මේ ලොවෙහි කර්කශ බව විඳ දරා ගන්නට සම සිතින් උර දෙන මිනිසෙකි. වසර හැටක් සර්වෝදය තුළින් ඔබ කර ඇත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීම පමණක් නොවේ. ඔබ අපේ මනුෂ්‍යත්වයේ නිසග ප්‍රභාශ්වර බව සේවය තුළින් අවදි කර ඇත. ලේ විල් මැදින් ගොස් ඔබ මිනිසුන් සුවපත් කර ඇත. අනුන්ගේ කුසගිනි නිවා ඇත. සමාජය කොන් කළ, පිටමන් කළ, ගර්භා කළ ජන කොටස් ඔබ ඔබේ සියුමැලි අත් වලින් ඔබේ සියුමැලි හදවතට තුරුළු කර ගෙන ඇත. ජාති, ආගම්, කුළ, භාශා, ධන, නිර්ධන, වයස්, ලිංගිකත්වය ඈ සියල්ල විනිවිද ඔබ ඕලාරික ලොවක ලතෙත් මිනිසකු වීම ප්‍රති-නිර්වචනය කර ඇත.

ආරී ඔබ වියපත් වුවද පැරණි නොවෙයි. ආදි කල්පික මිත්‍යා මත වලින් අවිද්‍යාව පතුරවා සිය පැවත්ම නිර්මාණය කරන්නට උත්සාහ කරන්නන් අතර ඔබ ද, සර්වෝදයද නොසැලී විද්‍යාත්මක චින්තනය වෙනුවෙන් පෙනී සිටියි. අසමානතාවයෙන් ගිලන් වුණු සමාජයක ඔබේ වියපත් හදවත තරුණ පරමාදර්ශියකුගේ ජවයෙන් තවමත් අසරණයන් වෙතටම හැරෙයි. ඔබ විසින් කොන් කළ පිටස්තරයින් නැත. ඔබ මිනිසුන් ගේ සමුදයාර්ත්‍ය වැළඳ ගන්නා සර්වව්‍යාපිකයාය. ඔබ ලොවෙහි ගුණ – නුගුණ දෙකම හැපී පෙණ පිඩු නගා සමනය වන මිනිස් වෙරළය. ඔබ අනූ වියැති තත්කාලීනයෙකි. අළුත් ලොවක වෛෂ්ණවයෙකි. ඔබ අපේ මිනිස්කමේ ඉතිහාසයේ යෝධයෙකි. ඔබේ උරහිස මත හිඳ බලන විට මේ ලෝකය ගොඩක් ලස්සනයි, බලාපොරොත්තු සහගතයි ආරි!

ආදරණීය ආරි- සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන, ලොවට පියෙකුව දිගු කල් ජීවත් වන්න.

 

ඔස්ටින් ප්‍රනාන්දු

 

 

Related Articles