රුපියල ශක්තිමත් වෙමින් පවතී

රුපියල ශක්තිමත් වෙමින් පවතී

දැනට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 299 මට්ටමට පහත වැටී ඇති අතර ඉදිරි කාලයේදී රුපියල තවදුරටත් ශක්තිමත් වී 250 – 260 තත්ත්වයට පත්විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසයි.

ඉදිරියේදී ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් රැකියා සඳහා විදේශගත වීම මෙන්ම විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම නිසා ද අපට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩිවීම නිසා රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බව ඔහු අවධාරණය කළේය.

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තා මගින් පෙන්වා දේ.

නිල සංචිත වත්කම්

ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 9.6% කින් මාර්තු මාසය තුළ දී ඉහළ ගොස් තිබේ. එහිදී 2024 පෙබරවාරි මාසය අවසානයේ දී මහ බැංකුව සතුව පැවති ඩොලර් බිලියන 4.48 ක්වූ විදේශ විනිමය සංචිතය 2024 මාර්තු මාසය අවසන් වන විට ඩොලර් බිලියන 4.91 ක් දක්වා වැඩි වී ඇත.

මේ අතර 2024 මාර්තු මාසය තුළ දී මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 31 සිට ඩොලර් මිලියන 34 ක් දක්වා 9.1% කින් ඉහළ ගොස් තිබේ.

Related Articles