ඇමති රොෂාන් වාහන සෙල්ලමේ ඉන්නවද?

ඇමති රොෂාන් වාහන සෙල්ලමේ ඉන්නවද?

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෲසර් ජීප් රථයක් පානදුර වලාන මර්දන ඒකකය විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් දඹුල්ල යුරෝ නිපොන් පෞද්ගලික වාහන අංගනය වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ලෑන්ඩ් කෲසර් ජීප් රථය දඹුල්ල පොලිසියට භාරදී ඇති අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මේ පිළබඳව යමක් ප්‍රකාශ කොට නැත.

වලාන – පානදුර මර්දන මර්දන ඒකකය දඹුල්ල පොලිසියට වාර්තා කර ඇත්තේ මෙම රථයේ වටිනාකම රුපියල් කෝටි 100 ක් පමණ වන බවයි. රුපියල් මිලියන 20ක් රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් ව්‍යාජ ලේඛන සකස් කර භාවිත කර ඇති බවට සැක කෙරේ. ක්‍රිකට් ආරවුල අතරතුර රොෂාන් රණසිංහ සහ ජපානය අතර ඇති ප්‍රශ්න කටයුතු සබඳතා පිළිබඳව වහෙන් ඔරෝ බසින් යම්යම් දේ ප්‍රකාශ වූ නමුත් සජුව යමක් කියවුනේ නැත. රොෂාන් රණසිංහ ගේ සහෝදරයෙක් ජපානයේ වෙසෙන බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුල්‍ය කටයුතු දැඩිව විවේචනය කරන අමාත්‍ය රොෂාන් රණසිංහ තමන්ගේ දියණියන් දෙදෙනා ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොදාගත් බව පසුගියදා පාර්ලිමේන්තු කෝප් සභාවේදී හෙළිදරව් විය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල කොට්ඨාශ සහකාර පොලිස් අධිකාරී රුක්මාල් තෙන්නකෝන් මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් නිවාඩු ලබා සිටින බවත්, මාතලේ කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් මුලස්ථාන පොලිස් පරීක්ෂක දඹුල්ල පොලිසියෙන් විමසීමක් කරන ලෙසට දන්වා ඇති බවත්ය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක දඹුල්ල පොලිසියේ එස්.පී.ආර්. ඇල්ලේපොල නිවාඩු ලබා සිටි අතර, වලාන – පානදුර මර්දන මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් වාහනයක් ඉදිරි විමර්ශන සඳහා දඹුල්ල පොලිසියට භාරදී ඇති බවත් එය අධිකරණයට ඉදිරිපත් කරන බවත් වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා පැවසීය.

මේ අතර, රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ වාහන අංගනයේ අධ්‍යක්ෂ ඉන්දික රත්නායක කියා සිටියේ එම වාහනය ඔහුට අයත් එකක් බවත්, වාහනයට අදාළ නීත්‍යානුකූල ලියකියවිලි ඔහු සතුව තිබූ බවත්ය. අයිතිකරුට නොදන්වා වාහනය පොලිස් භාරයට ගත් බවට ඔහු චෝදනා කළේය.

කෙසේ වෙතත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක විය .

Related Articles