කමිඳු  ද්විත්ව ශතක වාර්තාව

කමිඳු ද්විත්ව ශතක වාර්තාව

වසර දෙකක් තිස්සේ යළි කැඳවීමක් නොලද කමිඳු මෙන්ඩිස් ද්විත්ව ශතකයක් ලබා ගෙන  වසර 147 ක් වාර්තාවක් බිඳ හෙලන්නට සමත් වී සිටී

2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කර ගත් කමිඳු මෙන්ඩිස් අත් දෙකෙන් ම පන්දු යවන ‘අමුතු පන්දු යවන්නෙකු’ විය.

මංගල ටෙස්ට් තරගයේදී ම ලකුණු 61ක් රැස් කිරීමට සමත් වූ ඔහුට වසර දෙකක් තිස්සේ යළි කැඳවීමක් ලැබුණේ නැති නමුත් ඔහු පුහුණුව ඇත හැරියේ නැත .

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක් හිමි වූයේ විය. කමිඳු මෙන්ඩිස් සහ නායක ධනන්ජය ද සිල්වා ශතක දෙක බැගින් රැස් කිරීම හේතුවෙනි

ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්

පළමු ඉනිමේදී පන්දු 127කදී ලකුණු 102ක් රැස් කළ කමිඳු, දෙවන ඉනිමේදී පන්දු 237කදී ලකුණු 164ක් රැස් කළේ ය.

 

කමිඳු මෙන්ඩිස් වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් කිසිවෙකු මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් පිහිටුවීමට සමත් සිටී .

එම වාර්තාව වූයේ, 7 වන හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීම ය.

ලකුණු 5කින් අහිමි වුණු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාව

1937 වසරේදී 7 වන හෝ ඊට පහළ පිතිකරුවෙකු ලෙස ටෙස්ට් තරගයකදී රැස් කර තිබූ වැඩි ම ලකුණු සංඛ්‍යාව පසු කර යාමට කමිඳු මෙන්ඩිස්ට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 5ක් පමණි.

1937 වසරේදී එංගලන්තයට එරෙහිව 7 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම දෙකේදී ලකුණු 270ක් රැස් කර තිබිණි.

කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.

 

සෙසු වාර්තා

කමිඳු මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා සමග එක්ව තවත් වාර්තා කිහිපයකට දායක විය.

1. ඉනිම දෙකේදී ම ශතක රැස් කළ ලොව තුන් වන පිතිකරු යුගලය
(මීට පෙර 1974 වසරේදී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් නවසීලන්තයට එරෙහිව සහ 2014 වසරේදී පකිස්ථානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද මෙම දක්ෂතාව දක්වා තිබිණි.)

2. ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ලකුණු 150ක සබඳතාවක් ගොඩ නැගූ තුන් වන පිතිකරු යුගලය
* ධනන්ජය සහ කමිඳු – පළමු ඉනිම 202, දෙවන ඉනිම 177
* පෝල් ගිබ් සහ එඩී පෙයින්ටර් – පළමු ඉනිම 184, දෙවන ඉනිම 168
* ජෝ බර්න්ස් සහ ඩේවිඩ් වෝර්නර් – පළමු ඉනිම 161, දෙවන ඉනිම 237

3. ටෙස්ට් තරගයක දෙවන ඉනිමේදී කඩුලු 6ක් බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ නැගුණු වැඩි ම ලකුණු සබඳතාව. (කමිඳු මෙන්ඩිස් සහ ධනන්ජය ද සිල්වා ලකුණු 292ක් රැස් කළ අතර ඊට පෙර එම වාර්තාව පැවතියේ ලකුණු 223ක් ලෙස ය.)

 

කමිඳු මෙන්ඩිස් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර, ඔහු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළේ, එම විද්‍යාලයෙනි

කමිඳු දිලංක මෙන්ඩිස් හෙවත් කමිඳු මෙන්ඩිස් ගාල්ලේදී උපත ලැබුවේ, 1998 වසරේ සැප්තැම්බර් 30 වන දා ය. ඔහුගේ වයස තවමත් අවුරුදු 25කි.

පළමු ඉනිමේ ශතකය රැස් කිරීමෙන් පසු ඔහු පවසා තිබුණේ, “ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එකතු වෙන එක ඉතා අසීරු දෙයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂතා අතර සිටිනවා. මම අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් මහන්සි වුණා ආපහු කණ්ඩායමට එන්න,” යනුවෙනි.

 

 

Related Articles