ක්‍රිකට්  අලකලංචියේ දිගහැරුම  සහ හෙට

ක්‍රිකට් අලකලංචියේ දිගහැරුම සහ හෙට

ශ්‍රී ලංකා ක්රිකට් සම්බන්ධයෙන් ඊයේ (09)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුනේ රොෂාන් රණසිංහ තරඟයේ වීරයා බට පත් කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉතා දක්ෂ ලෙස පිටියට අවතීර්ණය වී ඉතා සීරුවෙන් තෝරාගත් පන්දුවලට පහර දෙන්නට විය.

පළපුරුදු දේශපාලන කළමනාකරුවෙකු වූ රනිල් වික්‍රමසිංහ වහාම පාර්ලිමේන්තුවට පැමිණ තමන් කොයි පැත්තටවත් නැතුව ක්‍රිකට් පැත්තේ ඉන්න බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැවසුවේ රොෂාන් රණසිංහ ඇමතිවරයා ගේ බලතල වලට අභියෝග කිරීම අයාලේ ගිය පන්දුවකට කළ පහරදීමක් බව තේරුම් ගැනීමෙන් අනතුරව විය හැකිය . දැන් ජනාධිපතිවරයගේ ඇමති කමිටුව ඉබේ ම දියවී ගොසිනි. මේ වන විට සම්පාදනය වී ඇති හිටපු විනිසුරු කේ ටී චිත්‍රසිරි ගේ වාර්තාව පදනම් කරගෙන සම්පුර්ණ ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතු බවයි දැන් ජනාධිපතවරයා පෙන්වා දෙන්නේ.

පාර්ලමේන්තුවේ යෝජනාවක් සම්ම්මත වූ පමණින් ක්‍රිකට් පරිපාලකයින් ඉවත් කළ හැකිද යන්න දැන් ප්‍රශ්නයක් වී තිබේ. මන්දයත් ඔවුන් පත්ව සිටින්නේ ක්‍රීඩා සංගම් ඡන්දයෙන් වන බැවිනි. මෙය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය ඉතා බැරෑරුම් ලෙස ගන්නා කාරණයකි . එහෙයින් අධිකරණ ක්‍රියා මාර්ගයක් ඔස්සේ ඉතා ඉවසිලිවන්තව දුෂිත ක්‍රිකට් ලොක්කන් ඉවත් කිරීම සිදුවිය යුතු බවයි ඇතැම් නීතිවේදීන් පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තු යෝජනාව ඒකමතිකව සම්මතවෙද්දී ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොසිටි බව චාමර සම්පත් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකින් හෙළි විය ,ජනතා විමුක්ති පෙරමුණ ක්‍රිකට් පරිපාලකයින් හා අත යට ගනුදෙනුවක් කල බව ප්‍රසන්න රණතුංග ඉඟි කළේය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසුවේ තමන් දිගින් දිගටම ක්‍රිකට් මාෆියාව ගැන කතා කළ බවයි.
“සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපති ධුරය දරන අවස්ථාවේ තුන් වතාවක් ක්රිකට් බෝඩ් එක කැඳවලා මේ ක්රිකට් බෝඩ් එකේ තිබෙන දූෂණ වංචා පිළිබඳ විමර්ශනයක් කළා. එයින් එකක් තමයි විකාශන අයිතියේදී ඩොලර් මිලියනවලින් කරන වංචාව. මේ පිළිබඳව ෆොරන්සික් ඔඩිට් එකක් කළා. ක්රීඩා ඇමති තුමා ඊයේ කිව්වා ෆොරන්සික් ඔඩිට් එකක් කරන්න කියලා. කෝප් කමිටුවට ඒ වාර්තාව ඇවිත් තිබෙන්නේ. කොප් කමිටුවෙන් ඒ වාර්තාව මත පදනම් වෙලා එතනින් එහාට විමර්ශනයක් කෙරුනේ නැහැ. දේශපාලනයෙන් ආණ්ඩු වෙනස් වුණා. එක එතනින් නතර වුණා. දැනටත් විකාශන අයිතිය පිළිබඳව ක්රිකට් බෝඩ් එක කළ වැරදි පිළිබඳව කෝප් කමිටු වාර්තාවක් තිබෙනවා. එය විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් කළ ෆොරන්සික් රිපෝට් එකක්. ඒ මත තවදුරටත් වත්මන් කෝප් කමිටුවට විමර්ශනය කළ හැකියි.” පැවසීය.

මෙය නිමා ටෙලි නාට්‍යයකි. එහෙයින් තවත් බොහෝ දේ ඉදිරියට සිදු විය හැකිය. ඒ සිදුවන බොහෝ දේ අනපෙක්ෂිත සිදුවීම් විය හැකිය.

Related Articles