නහුතෙට උද්ධමනය නගින කොට  පොලී  වැඩිවීමේ  ජොලියක් නැත….

නහුතෙට උද්ධමනය නගින කොට පොලී වැඩිවීමේ ජොලියක් නැත….

උද්ධමනය 100% ක් ව තිබියදී බැංකු පොලී අනුපාතය 30%ක් වීම ප්‍රයෝජනයක් නැතැයි මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එසේ කියා අනිත් පැත්ත හැරෙන්නට පෙර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 ජූලි මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 66.7% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එනිසා කල යුතු වැදගත්ම කාර්යය උද්ධමනය පාලනය කිරීම බව මහ බැංකු අධිපතිවරයා පවසන නමුත් එසේ වන පාටක් නැත.

ජාතික පාරිභෝගික මිල දර්ශකය…..

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2022 ජූලි මාසයේ ආහාර උද්ධමනය 58.9%ක් කින් වැඩිවී ඇත.

පසුගිය මාසය හා සංසන්දනය කලවිට, 2022 ජූලි මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති කිරිපිටි, සහල්, අළුත් මාළු, බිස්කට් වර්ග, කුකුළුමස්, කරවල, පාන්, සීනි, මිරිස් කුඩු, පළතුරු, අර්තාපල්, ළදරු කිරිපිටි, ටින්මාළු, වියළි මිරිස්, හරක්මස්, අමුමිරිස්, තුනපහ කුඩු, බනිස් සහ බිත්තර ආදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වූ අතර එළවළු, පොල්තෙල්, පොල්, ලොකුළූණු, රතුළූණු සහ දෙහි මිලෙහි අඩුවීමක් වාර්තා විය.

බිත්තර සඳහා පාලන මිලක් පැනවීමත් සමඟ වෙළඳපොලේ කුකුළු මස් මිල පහල බසිමින් තිබේ.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන්නේ බිත්තර නිෂ්පාදන ගැටළු හේතුවෙන් කිකිළියන් අලෙවි කිරීමට ගොවීන් කටයුතු කරමින් සිටින බවයි.

ඒ හේතුවෙන් කුකුළු මස් මිල පහළ බැස ඇතැයි ද සංගමයේ සභාපති ආර් එම් රත්නායක මහතා පවසයි.

Related Articles