නාරම්මල : පොලීසියන් මිලියන දෙසීයක වන්දියක්

නාරම්මල : පොලීසියන් මිලියන දෙසීයක වන්දියක්

නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මරණය සිදුවූ වහාම කදී මුඩියේ එහි පැමිණි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනීට රුපියල් මිලියනයක් පොලිස් අරමුදලෙන් ලබා දුන්නේය .

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර, නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

කමනි රූපිකා ප්‍රියංගනී පෙත්සමේ දක්වා ඇත්තේ, ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියක යමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තම සැමියා මරණයට පත් වූ බවයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත ..

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කුලියාපිටිය අපරාධ විමර්ශන ඒකකය මගින් ක්‍රියාත්මක කරන අතර එම නිලධාරීන් විසින් අද (පෙබරවාරි 16 වැනිදා) දිනයේදී අධිකරණය වෙත නඩු භාණ්ඩ භාර දෙන ලදි. ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා භාවිතා කළ ගිනි අවිය, එහි පතුරන් කොපුව, මරණකරු ඇඳ සිටි ඇඳුම්, පොලිස් නිලධාරියා ඇඳ සිටි ඇඳුම්, ගිනි අවිය බහාලන ඇසුරුම ආදී භාණ්ඩ අද දින නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇත .

මේ අතර මරණකරුගේ ලොරි රථයේ තිබූ, වඩු මැෂිම සහ වඩු වැඩ සදහා භාවිතා කරන උපකරණ, ජංගම දුරකථනය, බැඳුම්කර රහිතව මරණකරුගේ බිරිඳ වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බව අනාවරණය වී ඇත.

එම යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත් එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත .
මේ තරම් කාලයක් තිස්සේ පොලිස් නිලධාරියෙක් ව්‍යාජ අංක තහඩු යෙදු යතුරු පැදියක් භාවිතා කලේ මන්ද යන ප්‍රශ්නය මතු වී ඇත .
.

කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවය.

යතුරු පැදියේ පැමිණි අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනම්
වින්දිත පාර්ශවය වෙනුවෙන් එස්. කොටගොඩහෙට්ටි , ජයතිලක තෙන්නකොන් ඇතුළු නීතිඥවරුන් තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නීතිඥවරුන් විමසා සිටියේ, යතුරු පැදියේ පසු පස ගමන් ගත් දෙවැනි පොලිස් නිලධාරියා සැකකරුවෙකු වශයෙන් තවමත් අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්න පිළිබඳවය.

ඔහුත් මෙම මරණයට සම්බන්ධ වූ පුද්ගලයෙකු නිසා ඔහුද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව නීතිඥවරුන් අවධාරණය කළේය.

සාක්ෂි වලින් හෙළි වූ කරුණූ අනුව මරණයට පත්වූ පුද්ගලයාට මුලින්ම අසභ්‍ය වචනයෙන් බැන වැදි කමිස කොලරයෙන් අල්ලා අත්තේ මෙම දෙවැනි පොලිස් නිලධාරියා ය.

එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඔහු පිළිබඳ වෙනම විමර්ශනයක් සිදුවන බවත් දැනට ඔහුව අත්තඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවත් ය.

වැඩිදුර විමර්ශනය කර මීට සම්බන්ධ තවත් සැකකරුවන් සිටී නම් අත්ඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරිය පොලිසියට දැනුම් දුන්නාය.

දෙවැනි පොලිස් නිලධරියාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීම අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළේය.

Related Articles