කොමියුනිස්ට් පක්ෂ වාම  සන්ධාන

කොමියුනිස්ට් පක්ෂ වාම සන්ධාන

ලෝක ආර්ථික රටාවට ගැලපෙන සේ මෙරට ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීමට සුදුසු සන්ධානයක් ගොඩනගා ගත යුතු බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසයි .

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කොටස්කරුවෙක්ව සිටී කොමියුනිස්ට් පක්ෂය දැන් මීළඟට කරන්නේ කුමක් දැයි කල්පනා කරමින් සිටින පක්ෂ වලින් එකකි .
විමල් වීරවංශ ,වාසුදේව නානායක්ක්කර ,උදය ගම්මන්පිල ගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ කොමියුනිස්ට් පක්ෂය මේ වන විට කතිකාවකට එක්ව සිටී.

කොමියුනිස්ට් පක්ෂ පුරෝගාමියා -දොස්තර එස් ඒ වික්‍රමසිංහ

ලෝක ආර්ථික රටාවට ගැලපෙන සේ මෙරට ආර්ථික උපාය මාර්ගය සකස් කර ගැනීම සඳහා සියලූ‍ දේශප්‍රේමි, ප්‍රගතිශීලි, වාමගාමී බලවේගයන්ට එක්වෙන මෙන් කොමියුනිස්ට් පක්ෂය ආයාචනා කර සිටී.

නව දේශපාලන පෙළගැසීම

ගෝලීය ප්‍රවනතාවන් සමඟ බද්ධ වී ඇති යථාර්ථය පිළිගැනීමට තරම් දේශපාලන දැක්මක් රජයට මෙන්ම විපක්ෂයට අයත් ඇතැම් කාණ්ඩායම්වලට නැති බවයි එම පක්ෂය අවාධරණය කරන්නේ.

ඉහත සන්දර්භය තුළ නව දේශපාලන පෙළගැසීමක වැදගත් කම සහ අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් නව දේශපාලන සම්මුතියක් සඳහා එකතුවෙන ලෙස සියලූ‍ දේශප්‍රේමි, ප්‍රගතිශීලි, වාමගාමී බලවේගයන්ට කොමියුනිස්ට් පක්ෂය ආයාචනා කර සිටී.

දූෂණය   පිලිකාවක්

2022 ආර්ථික අර්බුදය පුපුරා ගියේ, විදේශ විනිමය සංචිතය සිදීයෑම මෙන්ම රුපියල් හිඟයක් ඇතිවීම සහ ණය වාරය ආපසු ගෙවීමට නොහැකි වු තත්ත්වයන් තුළින් ය. ඊට පාදක වූ මූලික සාධකය වන්නේ, 1978 සිට විවිධ ආණ්ඩු යටතේ, ක්‍රියාත්මක කරනු ලැබූ නවලිබරල් ආර්ථික උපාය මාර්ගය සහ ඒ තුළින් ක්‍රියාත්මක වු ප්‍රතිපත්ති තුළින් බව, කොමියුනිස්ට් පක්ෂයේ පිළිගැනීමයි. දූෂණය, මුළුමහත් සමාජදේහය පුරා පැතිරීගිය පිලිකාවක් බවට පත්වීමට මඟ හෙලිපෙහෙලි කරනු ලැබුවේ ද, එම නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගයම ය.

දිගු කලක් කොමියුනිස්ට් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී – ඩිව් ගුණසේකර

මේ බව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ ද සිටිමින් තම නියෝජිතයින් හරහා පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් මතු කරනු ලැබූ බව කොමියුනිස්ට් පක්ෂය පවසයි .

පසුගිය කාලය තුළ බොහෝ අයවැය විවාදයන්හී දී පිරිහෙමින් පවතින විදේශ විනිමය සහ රුපියල් හිඟය ගැන කොමියුනිස්ට්වරු යළි යළිත් අවධාරණය කරනු ලැබු බව පාර්ලිමෙන්තු හැන්සාඩ් වාර්තාවලින් දැකිය හැකි බවයි කොමියුනිස්ට් පක්ෂය පවසන්නේ . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ද ඉන් පසුව ද කොමියුන්ස්ට් පක්ෂය ලිඛිතව කරුණු සැලකර සිටිය ද, ඊට සවන්දීමක් සිදු නොවූ බවත් පක්ෂය පවසයි .මේ කවර කථා කීවත් පොහො ට්ටුව හරහා පාර්ලිමේන්තුවට එක් වූ කොමියුනිස්ට් මන්ත්‍රීවරු ගෙනා අණපනත් වලට අත උස්සා අනුමැතිය පල කිරීමට අමතක නොකළහ. එමෙන්ම එම ආණ්ඩුවල සමස්ත ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

රජය සාහසික වී

අර්බුදය පුපුරා ගොස් දෙවසරක් නිමවී තිබුණ ද, රජයේ අවධානය යොමු වී ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පමණ ය. එම උත්සාහය ද ඵල රහිත වී තිබේ. දේශීය ණය සම්බන්ධයෙන් වුව ද, ඊනියා ප්‍රතිව්‍යුහගත කිරීම අර්ථ සාධක අරමුදලට පමණක් සීමා කරමින්, එහි බර, විශ්‍රාමිකයන් ඇතුළු වැඩ කරන පන්තියට පැටවීමට රජය සාහසික වී ඇති බවයි කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙන්නේ .

මේ අවස්ථාවේදී ගත හැකි විකල්ප මාර්ග මොනවාදැයි කොමියුනිස්ට් පක්ෂයට පෙන්වා දිය හැකි නම් එය කාලීන දේශපාලන කතිකාවතට කෙරෙන අගේ ඇති සම්මාදමක් වනු ඇත

 

කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙන පරිදිම වර්තමානයේ සමාජයේ ඉහළ තලයේ 10% ජාතික ආදායමෙන් 64%ක හිමිකරුවන් බවට පත්ව ඇත. මුදුනේ සිටින 1% ජාතික ආදායමෙන් 31% අත්පත් කර ගෙන තිබේ පහළ ම තලයේ 50% හිමිවී ඇත්තේ 4% තරම් සොච්චමකි.

 

මේ තත්වය වෙනස් කරන්නේ කෙසේද ?
කොමියුනිස්ට් පක්ෂය පෙන්වාදෙන පරිදි ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පත්ව ඇත. චීන ආර්ථිකයේ දැවැන්ත පිම්ම ඊට ඍජුව බලපා ඇති සාධකයයි.

ජාතික රාජ්‍යයන් කලාපීය වශයෙන් ගොනුවීම, බහුද්‍රව ලෝක රටාවේ ලක්ෂණයයි. ප්‍රාග්ධනය ගලායන්නේ ගෝලීය දකුණට ම ය. විශාලතම වෙළෙඳ පොළ පවතින්නේ ද ගෝලීය දකුණේ ය. ලොවේ ප්‍රධාන කාර්මික නිෂ්පාදකයා, අපනයනකරු හා ආනයනකරු බවට චීනය පත්ව ඇති බවයි කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙන්නේ..

මහේශාඛ්‍ය ඩොලරය වෙනුවට විකල්ප මුදල් ක්‍රම ජාත්‍යන්තරව හා කලාපීයව භාවිතා වෙමින් නව ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමයක් නිර්මාණය වනු දැකිය හැකිය.

චීන ලයින් එකට

නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියකින් හා ඵලදායිතාවය ඉහළ නැංවීමකින් තොරව හුදෙක් මුල්‍යකරණය හරහා රටක් සංවර්ධනය කරලීමට නොහැකි බව ගත වු වසර 45 අත්දැකීම්වලින් මනා ලෙස ඔප්පු කරනු ලැබ ඇති බවයි කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දෙන්නේ . විසදුම් සෙවීමේ දී, නව ප්‍රවේශයක් ගැනීම හැරෙන්නට වෙනත් මගක් නැති බව කොමියුනිස්ට් පක්ෂය තර්ක කරයි .

චීනය රාජපක්ෂවරුන් හා එක්ව ඇටවූ දැවැන්ත ණය උගුල කොමියුනිස්ට් පක්ෂයට අමතක වේ ඇති සෙයකි.

දේශප්‍රේමි, ප්‍රගතිශීලි, වාමගාමී බලවේගයන්ට කොමියුනිස්ට් පක්ෂය ආයාචනා කර සිටින්නේ චීන ලයින් එකට පෙළ ගැසෙන ලෙසද ?

Related Articles