පරාක්‍රම නිරිඇල්ල රනිල් – විදුර අන්දමන්ද කරයි

පරාක්‍රම නිරිඇල්ල රනිල් – විදුර අන්දමන්ද කරයි

රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති, ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායකට දැඩි විරෝධය පලකරමින් වේදිකාවෙන් බැස ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්දමන්ද කරමිනි .

උපදේශක සභාවේ නිර්දේශ මත ඩග්ලස් සිරිවර්ධනට ජීවිතයේ එක වරක් ලැබෙන සම්මානයක් වන නාට්‍ය කීර්ති සම්මානය ට ඔහුව නම් කර ඒ බව සඳහන් කර ලිපියක් ද යවා තිබිය දී ඒ නිර්දේශය ඇමැති විදුර වික්‍රමනායක විසින් නොතකා හැරීම නිසා විසින් වෙනස් කර ඩග්ලස්ව කපා දැමීම නිසා පරාක්‍රම නිරිඇල්ල සිය තනතුරින් සහ සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී වේදිකාවෙන් බැස ගියේය

පරාක්‍රම නිරිඇල්ල :

” නාට්‍ය කීර්ති සම්මානය ප්‍රදානය පිළිබඳ ප්‍රතිපත්තියක් හෝ රෙගුලාසියක් කොහේවත් සඳහන් වී නෑ. අප නිර්දේශ මත තිදෙනාටම නාට්‍ය කීර්ති සම්මානය ලබාගැනීමට පැමිණෙන ලෙස ගෞරවනීය ලෙස දන්වා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකාවියගේ අත්සනින් 2023 නොවැම්බර් 23 දා ආරාධනා ලිපි යවා තිබෙනවා. ඊට පසුව නැවතත් එම අධ්‍යක්ෂිකාවගේම අත්සනින් නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතා ට 2023 දෙසැම්බර් 11 දා ලිපියක් යවනවා එක් අංශයකට එක් සම්මානයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන්නේ ඒ නිසා ඔහුට හිමි සම්මානය ලබන අවුරුද්දේ ඔහුට දෙනවා කියලා. කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ සම්මාන නිර්දේශ කළ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව මේ ගැන දැනුවත් කළාද? උපදේශක සභාවේ තීරණයක් ලෙස කළ කාර්ය වෙනස් කෙළේ මොකද? කොහොමද? කවුද? මේ ගැන විමසීමේ දී මට දෙපාර්තමේන්තුවෙන් දැනගන්නට ලැබුණේ ඇමැතිතුමාගේ නියෝගයක් අනුව මෙම වෙනස් කිරීම කළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නොවෙයි, මේ ලොකේ කොහේවත් සිද්ධවුනා කියලා මා අහලා නෑ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ නාට්‍ය කරුවෙකුට කළ අගරුවක්. සදාචාරයට පටහැනි නොපණත්කමක්. නාට්‍ය ඉතිහාසයේ මෙම පනස් වැනි සංවත්සරයට ඇතිකළ මකා දැමිය නොහැකි කිළුටක්. ඇමැතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේශ සහ තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කරන්නට පුළුවන් නම්, මම සහ අපි මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නෑ.(සභාව නැගිට අත් පොලසන් දීම ආරම්භ වේ) ඒ නිසා මා මේ වේදිකාවෙන් පහළට බහින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතිවයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවා. මට කරන්න දේවල් තියෙනවා. මට එළියට බැහැලා නාට්‍ය නිර්මාණ කරන්න පුළුවන්. ජනතාව අතරට යන්න පුළුවන්. අද දින සම්මාන ලබන සියළුම නාට්‍යකරුවන්ට සුබපතමින් මා නිහඬ වෙනවා.ස්තූතියි.”

ප්‍රේක්ෂකයින් අසුන් වලින් නැගිට එක දිගට අත්පොලසන් දෙමින් පරාක්‍රම නිරිඇල්ලට ආචාර කරද්දී ඇමති විදුර වික්‍රමනායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුහුණින් මුහුණ බලාගත්හ.

Related Articles