ප්‍රසන්නගේ කප්පම් නඩුව අභියාචනාධිකරණ යට

ප්‍රසන්නගේ කප්පම් නඩුව අභියාචනාධිකරණ යට

නාගරික සංවර්ධන හා නිවාස ඇමති මෙන්ම අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් කප්පම් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් වැරදි කරු වීමේ කොළඹ මහාධිකරණ තීන්දුව අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා එම පෙත්සම කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කර ඇත.

පෙත්සම විභාග කිරීම සඳහා සෝභිත රාජකරුණා, ඩී.එන්. සමරකෝන්, සම්පත් අබේකෝන්, ඛේමා ස්වර්ණාධිපති සහ පී. කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

අදාළ පෙත්සම මේ මස 20 වනදා විභාගය සඳහා කැඳවීමට නියමිතය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි කියන චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 02ක සිරදඬුවමක් නියම කොට එය වසර 05කට අත්හිටුවීමට තීන්දු කර තිබුණි.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද නියම කෙරුණු අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංගට නියම කර තිබුණි.

Related Articles