මවගේ ගෙල සිඳුනු පසු පුතු ලියු සටහන

මවගේ ගෙල සිඳුනු පසු පුතු ලියු සටහන

මගේ අම්මා සොහොනේ තනිකර දමා පැමිණියෙමි. මට මහා මූසල ගතියක් දැනේ.අම්මා පස් යට දමා ගෙදරට පැමිණ විනාඩි කීපයකින් යලි කහවත්ත පොලීසියට යාමට සිදුවිය.මගේ අද කට උත්තරය පැය දෙකකට වඩා කාලයක් ගතවූ එකකි.සිද්ධිය යලි යලිත් කියද්දී මට අතීතය චිත්‍ර පටයක් සේ පෙනින.එහි තිබූ ඔබ කිසිවෙකු කිසිදා නොදැකිය යුතු මගේ හිතේ මහා බරකින් සටහන් වූ රූප රාමු දෙකක් මම සටහන් කරමි.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිය පරීක්ෂණය කිරීමට පෙර කම්කරුවකු ලවා මෝචරියේ ශීතකරණය විවුර්ත කර අම්මාගේ මිනිය හදුනාගන්නා ලෙස ඉල්ලා සිටියේය. සම්පූර්ණයෙන්ම බෙල්ල උගුරු දණ්ඩෙන් මාලු කටක් සේ කැපී ගිය ලේ පෙරුණු බෙල්ලක් සහිතව ඉතාම බයකට ලක් වූ ලෙසකින් අම්මා වකුටුවී දරදඩුවී ශීතකරණයේ වකුටුවී සිටී.කකුලද කපා ලේ ගලා ඇති සෙයකි.මගේ රත්තරන් අම්ම..කොයි තරම් බයවෙන්න ඇද්ද? ඒ බියකරු මොහොතේ පුතා මේ බව දැනගෙන ලෝකය පෙරලා හෝ මිනීමරුවා සොයා ගනීවි..උඹට වැරදිලා.මගේ පුතා උඹට නීතියෙන් කරන්න පුළුවන් හැම දඩුවමක්ම දෙයි…බලා හිටපන්කො.. වැනි යම් අධිෂ්ඨානයක් ද මුහුණේ තිබිනි. දෙවැන්නද ඔබට කිසිදා නොවේවා.

පළමු දසුනෙන් මිනීමරුවා සොයා ගැනීමේ සිතුවිල්ලෙන් වෙඩි කෑ ඌරෙකු බවට පත් වූ මම දෙවැනි දසුනෙන් ලෝකයේ ශක්තිමත්ම අමරණීය වෙඩි කෑ ඌරා බවට පත් විය. අධිකරණ වෛද්‍ය නිලධාරී සිරුර කපා කොටා පරීක්ෂා කිරීමට මළ සිරුරක් නිරුවත් කොට දේහයේ විවිධ පද්ධති දෙපළු කර පරීක්ෂා කරයි.

පරීක්ෂණ නිමවා දේහය සෝදා ප්‍රිරිසිදු කර දමන්නේ මෝචරි කාර්‍ය මණ්ඩලය විසිනි. ඉන් අනතුරුව මෝචරියට රෝහලෙන් ලැබෙන බලපත්‍රය යටතේ කෑලි ගොඩක් බවට පත්වූ මළ සිරුර මල් ශාලාවට මෝචරියෙන් ලැබෙන්නේ ඉටි කවරක ඔතාය.එදා අම්මාගේ කීතු කීතු කොට පරීක්ෂා කල ,සියළු අවයව කපා විවුර්ත කරන ලද නිරුවත් දේහය පිගන් ගඩොල් ඇල්ලූ වේදිකාව මත තබා තිබිනි සාමාන්‍යයෙන් කෙරෙන්නේ ඉටි කවරයේ ඔතා කපා කොටා හාරන ලද කොටස් පිටතට නොපෙනෙන සේ ආවරණය කිරීමෙනි. නමුත් ඒ වන විට මගේ අත එවන ලද බලපත්‍රය අනුව මිනිය ලබාදීමට කතා කලත් වාහනයෙන් බැස පැමිණි අවමංගල්‍ය රියේ රියදුරු පැවසුවේ මිනිය තබා ඔසවා ගෙන යන තහඩුව සූදානම් වුවද එහි එක් පැත්තක් අල්ලා ගැනීමට ගෝලයෙකු නොමැති බවය.

මල් ශාලාවෙන් සකසන ලද මගේ අම්මාගේ දේහය කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු සහිතව සිටි ම්ට එම වදන් කණේ යවුල් වැනි විය. මං උදව් කරන්නම් මම කීවෙමි. අපි දෙදෙනාම මිනී කපන කාමරයට ගියෙමි.සම්පූර්ණ විවුර්ත කල,අවයව පද්ධති හාර හාරා දමා ඇති අම්මාගේ නිරුවත් සිරුර එහි විය.අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ වාර්තාව ලබා දෙන්නට පෙර වුව ඉතා කඩිනමින් මට දැනගත යුතු දෙයක් විය.ඒ අම්මා මියයාමට පෙර ඝාතකයා අතින් දූෂණය වී තිබුනේද යන්නයි.අධිකරණ වෛද්‍ය නිලධාරී හා සසදන කල මා සතු අල්ප දැනුමෙන් බාහිරව පරීක්ෂා කලෙමි.මා බිහිකර ඇත්තේ සාමාන්‍ය ප්‍රසූතියක් මගිනි .මා කුඩා ප්‍රාණියෙකු ලෙස මෙලොවට පැමිණි ද්වාරය අද මම මෝචරියකදී පරීක්ෂා කරන්නේ ස්ත්‍රී දූෂණය ක් සිදුව තිබේද කියා දැනගැනීමට පරීක්ෂා කලෙමි.දෛවය කොතරම් කුරිරු ද ?

මගේ ළදරු කාලයේ නිරුවතින් සිටි මාව අම්මා වඩා ගත් ආකාරය සිහිවිය.එය මතක් කරමින් පෙරකී තහඩුව මතට ඩොග් ගා දැමූ අම්මාගේ නිරුවත් සිරුර මම තදින් අල්ලා ගතිමි.හාරා තිබූ ශරීර කොටස් පිටතට නොවැටෙන සේ ලං කලෙමි.වාහනය පදවාගෙන පැමිණි පුද්ගලයාද සමග සිරුර ඉටිරෙදි වලින් ඔතා ගත්තෙමු.

පිටතට ගෙනැවිත් රියට දැමුවෙමු.කොණ්ඩයේ සිට ඇග පුරා ජලය බේරෙමින් තිබිනි.වැඩේ හොදට කලා හොදට සුද්ද කලා මල්ලී.මිනී කපන සහායක කීවේය. තවත් අවුරුදු දහයක් පහලොවක් පමණ නීරෝගීව ජීවත් වීමට හැකියාවක් ලැබෙන ආකාරයේ නිරෝගී ශක්තිමත් කයක් හා සමබර මනසක් තිබූ මගේ අම්මා මස් ගොඩක් වී තිබේ (පරීක්ෂණ වෙනුවෙන් එය කල යුතුඔය.මම කියා සිටින්නේ අම්මාගේ බෙල්ල නොකපන්නට අදත් මගේ අම්මාට නිවසේ අපූරුවට සතුටින් සිටීමට ඇයට අවකාශ තිබූ බවයි) මගේ කෙස් ගහකටවත් හානි වෙනවාට කුඩා කාලයේත් අදත් අම්මා අකමැතිය)

එහෙව් අම්මා මස් ගොඩක් වන තුරු මට,මේ රටේ අපට කිසිවක් කල නොහැකිවිය. අනේ අම්මේ සමාවෙන්න …මම සිතින් හැඩුවෙමි…

ජානක සුනෙත් බණ්ඩාර

Related Articles