මහින්ද හිමි නොදුටු වෙන්දේසි පොළ

මහින්ද හිමි නොදුටු වෙන්දේසි පොළ

ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් අද ජීවත්ව සිටියා නම් ලෝක තලයේ තමන්ගේම තීරණ ගන්නා උරුමය ගැන ආඩම්බර වන ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එදා මෙන් අද පෙනී නොසිටිනු ඇත. ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොවූ, තම දේශීය සම්පත් ආරක්ෂාකර ගනිමින්, සිය අවශ්‍යතා මත පදනම්වූ රටක් වෙනුවෙන් උන්වහන්සේ මැදිහත් වනු ඇතයි සිතිය හැක.

නිදහස් ව්‍යාපාරය

කවියෙකු, කතුවරයෙකු සහ ලේඛයකු ලෙස ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයට සහභාගිවූවකු ලෙස, ගෝලීයකරණය වූ ශ්‍රී ලංකාවේ ඔහුගේ ලේඛන වෙනත් ස්වරයක් ගැනීම අනිවාර්යෙන්ම සිදුවිය හැක්කකි. උන්වහන්සේ, චීනයේ සහ ඉන්දියාවේ ප්‍රබල බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා උරුමයන් රැක ගැනීමේ වැදගත්කම ගැන කවිය ප්‍රභල අවියක් කර ගනිමින් අදහස් දැක්වීමට පෙරමුණ ගන්නවා නිසැකය. ශ්‍රී ලාංකේය ඉතිහාසය හා සම්ප්‍රදායන් මතුකර ශ්‍රී ලාංකිකයාට 1948 දී දිනාගත් නිදහස ගැන යලි ප්‍රබෝධයක් ඇති කර නිහඬව සිටින්නේ ඇයිදැයි උන්වහන්සේ ප්‍රශ්න කිරීමට පෙළඹෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය

එස්. මහින්ද හිමියන්ගේ නිදහස සඳහා වූ සටන වෙනුවට අද උන්වහන්සේ යෝජනා කරනු ඇත්තේ, චීනය සහ ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාව ස්වකීය අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කලයුතු බවටයි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය තහවුරු කරමින් ආර්ථික සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවේශසම්කාරී පිලිවෙතක් අනුගමනය කල යුතු බවට උන්වහන්සේ අවධාරනය කරමින්, නොබැඳි ශ්‍රී ලංකාවක් ගැන අදහස් පලකරනු ඇති බවටද විශ්වාස කල හැක. චීනය හෝ ඉන්දියාව සමඟ පැත්තක් නොගෙන තමන්ගේම රාජ්‍යතාන්ත්‍රික මාවතක් අනුගමනය කළ යුතු බවට අවධාරණය කරමින් දෙරට අතර සමීප සබඳතා පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව විසින්ම නිර්මාණය කර ගත යුතු රාජ්‍ය තාන්ත්‍රික මාවතක් නිර්මාණය කරගත යුතුයැයි එස්.මහින්ද හිමියන් අදහස් දක්වනු ඇති බවටද සිතිය හැක. එසේම උන්වහන්සේ අවවධාරණය කරනු ඇත්තේ සම්පූර්ණනම හුදකලා ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී නොසිට, ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් කොන්දේසි මත පිහිටා ආර්ථික සබඳතා පවත්වාගෙනයාමේ වැදගත් කමයි.

 

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ සංස්කෘතික අනන්‍යතාවය වෙනුවෙන් ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයකදී හමුවන චරිතයක් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි. අභියෝග හමුවේ එකමුතුකම සහ නොපසුබට උත්සාහය පෝෂණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් උන්වහන්සේ සිය පෑන හසුරුවන ලද්දේ එදා මෙන්ම අදටත් එකසේ ගැලපෙන දේශ වාත්සල්‍යය සහ දේශ මාමකත්වය උද්දීපනය කිරීම උදෙසායි.

කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ

උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ

හිස්මොල තිබෙද්දිත් මේ වග නොතකන්නේ

ඇස් ගෙඩි දෙකට හෙනගහලද සිහලුන්නේ

 

දයානුකම්පාව, යුක්තිය සහ සහ සදාචාරය වැනි ගුණ ධර්මවලින් අනූන නායකයින් වෙනුවෙන් උන්වහන්සේ පෙනී සිටිය හැක. විවිධ ජනවර්ග සහ ආගම් අතර සමාජ සංහිඳියාව මෙන්ම සාමකාමී සහජීවනය පෝෂණය කිරීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමට උන්වහන්සේ සිය සාහිත්‍යමය ගමන් මඟ සකස් කර ගනු නිසැකය.

 

එසේම නූතන අභියෝග වන ශ්‍රී ලාංකිකයන් විසින්ම, විශේෂයෙන් දේශපාලකන් විසින් සිදු කරනු ලබන පාරිසරික විනාශය, ආර්ථික අසමානතාව, වැනි සමකාලීන ගැටළු පෙන්වා දෙමින් උන්වහන්සේ විරෝධය පල කරනු ඇති. රට අද මුහුණ දෙන ගැටළු විසඳීමෙහිලා වත්මන් භික්ෂුවගේ භූමිකාව කුමක්දැයි බෞද්ධ ඉගැන්වීම් මගින් උන්වහන්සේ පැහැදිලි කරනු ඇතැයි බොහෝ දුරට උපකල්පනය කල හැක.

උන්වහන්සේගේ සාහිත්‍ය කටයුතු සහ ක්‍රියාකාරීත්වය ශ්‍රී ලාංකීය ජාතික අනන්‍යතාවය හැඩගැස්වීමට උපකාරී විය. මෙම අනන්‍යතාවය පිළිබඳ හැඟීම විදේශ සබඳතා හැසිරවීමේදී අමතක නොකළ යුතු බවක් නොවේද, උන්වහන්සේගේ දර්ශනය තුලින් දැකිය හැක්කේ.

පටු ලාභ ප්‍රයෝජන භුක්තිවිඳීම සඳහා තමන් වරින් වර පත්කරගන්නා ලද, අදූරදර්ශී දේශපාලකයන් විසින් රට අද පවතින අසරණ තත්වයට ඇද දමා තිබෙන බව උන්වහන්සේ සිය ලේඛන වලින් කණස්සල්ල පල කර අතීතයේදී තමා විසින් රචිත කාව්‍යයන් යලි සිහිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලාසිටිනු ඇත. මේ අවස්තාවේදී රටේ දේශපාලකයන් මෙන්ම රටවැසියන්ද තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකම් කවරේදැයි ප්‍රශ්න කිරීමට උන්වහන්සේ පෙළඹෙනු ඇත. උන්වහන්සේ ජාතිය අවදිකිරීම උදෙසා එදා රචනා කල කාව්‍යයන් සදාතනිකය.

මොන කරුමයද තව ඇහැරුණු බවක් නැහැ

පැන පැන බියව මුලු වැදුමෙන් පලක් නැහැ

දිනුම පැරදුමත් කෝකත් කමක්      නැහැ

එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ

 

එස්.මහින්ද හිමියන් පුරවැසියන්ගේ වගකීම් සහ ජාතිය වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන පබැඳු කාව්‍යයන් රැසකි.

 

උපන්නෙත් මරෙන්නෙත් තනිවමයි ලොවේ

එයින් පිටස්තර වෙන විදිහකින්      නොවේ

එයින් එහෙමනම් තම යුතුකම       හමුවේ

භියෙන් තැති ගැනුම අප හට තරම් නොවේ

 

එසේ ජාතික අභිමානී වදන් සමාජ ගත කල උන්වහන්සේ කුඩා දරුවා තුල පවා ජාතික හැගීම් වර්ධනය කෙරෙන ළමා කවි අපූරුවට නිර්මාණය කළහ

                  නිදහස මහ මුහුදක් වේ

                 එහි උල්පත අත නුඹවේ


ඒ බව සිහිකොට මෙළොවේ

          යුතුකම ඉටු කළ යුතු වේ                                                                         

 

ජාතික අභිමානී සහ දේශානුරාගී කවි වලට අමතරව පරිසරය සුරැකීම සහ ස්වභාව සෞන්දර්යය වෙනුවෙන් උන්වහන්සේ රචනා කල ඉතාමත්ම සුන්දර වදන් ළමා මනස පුබුදු කිරීමට සමත් විය. මේ ළමා මනස අවදි කරන කාව්‍යමය සිතුවමකි.

 

එස්.මහින්ද හිමියෝ විශේෂයෙන් දේශප්‍රේමී කාව්‍ය සඳහා ප්‍රසිද්ධියට පත් වූහ. උන්වහන්සේ විසින් සමාජ ගත කල සාහිත්‍ය කෘති 40 ක් පමණ වේ. උන්වහන්සේගේ පළමු පොත “ඕවා මුතු දම” 1921 දී රචනා කොට ඇති බවට පිලිගැනේ.

 

ටිබෙට් දේශයට යාබද සිකීම් ප්‍රදේශයේ උපත ලැබූ එස්.කේ.ටෂිනම්ගල් ළමා වයසේ දීම ශ්‍රී ලංකාවට පැමිණ එස්.මහින්ද නමින් පැවිදි බිමට ඇතුලත්ව පසුව උපසම්පදාව ලබාගත්තේය. සිංහල, ඉංග්‍රීසි, සංස්කෘත, පාලි යන ආදී භාෂාවන් උගත් උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ සංස්කෘතික අනන්‍යතාවය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේය.

විකිණෙන වෙන්දේසි පොලක්

1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු එස්.මහින්ද හිමියෝ ජාතික වීරයෙකු ලෙස පිළිගැනීමට ලක්වූයේ අධිරාජ්‍යයවාදීන්ට එරෙහිව කල ජාතික නිදහස් සටනට උන්වහන්සේගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙනි. අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීම පිණිස පුරවැසියා වහල්භාවයෙන් මුදා ගැනීම උදෙසා හෙළ සාහිත්‍යයට ඉමහත් සේවයක් කල එස්.මහින්ද හිමියන් 1951 මාර්තු 16 වැනිදා අපවත්වීමට පෙර සුරපුරයක් ලෙස දුටු ශ්‍රී ලංකාව රටේ සම්පත් හතර අතේ විකිණෙන වෙන්දේසි පොලක් වනු ඇතැයි කිසිදිනක නොසිතන්නට ඇත.

විමලසේන හේවගේ

Related Articles