මෙන්න වැට් වදින  බදු ලැයිස්තුව

මෙන්න වැට් වදින බදු ලැයිස්තුව

ආණ්ඩුව 2024 ජනවාරි 1 දා සිට වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම මෙතෙක් වැට් බද්ද ක්‍රියාත්මක නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයකට අලුතින් වැට් බද්දක් පැනවීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. අලුතින් වැට් බදු පැනවෙන භාණ්ඩ අතර ජනතාවට අත්‍යවශ්‍ය පාන්පිටි, ළදරු කිරිපිටි, ඖෂධ, ජංගම දුරකථන මෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය උපකරණ, විදුලි ගාස්තු, බස් හා දුම්රිය ගාස්තුද ප්‍රධානවෙයි. එමෙන්ම අදාහන හා භූමදාන සේවා සඳහාද වැට්බදු පැනවෙනු ඇත. පහත සඳහන් වන්නේ එලෙස වැට් බද්දට යටත් වන භාණ්ඩ හා සේවා අතුරින් කිහිපයකි.

► ආහාර කාණ්ඩය

තිරිඟු, තිරිඟු පිටි, ළදරු කිරිපිටි, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව ආනයනය කරන භාණ්ඩ, සහල්, සහල් පිටි සහ පාන් ඇතුළු දේශීයව නිෂ්පාදනය කෙරෙන ද්‍රව්‍ය, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන නිෂ්පාදන හා ධීවර නිෂ්පාදන, ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන, දේශීයව නිෂ්පාදිත පොල්කිරි.

► ආහාර නොවන කාණ්ඩය

බොරතෙල්, භූමිතෙල්, දියර පෙට්‍රෝලියම් වායු, ගුවන් යානා ඉන්ධන, පෙට්‍රල්, ඩීසල්, නැව් සඳහා තෙල් හෝ රේගුව මගින් අංක 2710.19.60 යටතේ එකඟ වූ වෙළෙඳ භාණ්ඩ විස්තරය යටතේ නිශ්චිතව දක්වා ඇති ඉන්ධන වර්ග, බෙදාහැරීමේ කටයුතුද ඇතුළුව විදුලිය, සියලු මෝටර් රථ, බද්දට යටත් වේ.

ලොරි, ට්‍රක් රථ, බස් රථ, ක්‍රීඩා උපකරණ, රබර් හෝ ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා භාවිත කරන යන්ත්‍රෝපකරණ, අච්චු (වානේ, වීදුරු, රබර්, ඛනිජ ද්‍රව්‍ය හෝ ප්ලාස්ටික්), ඡායාරෑප සංවේදී අර්ධ සන්නායක උපාංග; ඇස් කණ්ණාඩි සහ කණ්නාඩි රාමු නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, කුකුළු කර්මාන්තය සඳහා වන අයිතම සහ අමතර කොටස්; බවුසර්, බුල්ඩෝසර්, කැනීම් යන්ත්‍ර, ගිනි නිවන වාහන, ගලි බවුසර්, ට්‍රුක්ටර් සඳහා ට්‍රේලර්, යන්ත්‍රෝපකරණ, කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා භාවිත කරන උපකරණ හා කසළ ට්‍රක් රථ; බලශක්ති ඉතිරිකිරීමේ බල්බ සහ බලශක්ති ඉතිරිකිරීමේ බල්බ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය; නිර්මාණ සඳහා භාවිත කරන පෑන්; (මෙම භාණ්ඩ රේගුවේ අරමුණු සඳහා එකඟ වූ වෙළෙඳ භාණ්ඩ විස්තරය සහ කේතකරණ පද්ධති අංක යටතේ වර්ගීකරණය කර ඇත) ජංගම දුරකතන, ආනයනය කරන ලද හෝ නිෂ්පාදනය කරන ලද සහ අතුරු නිෂ්පාදන ලෙස සැකසෙන එතිල් ඇල්කොහොල් නිෂ්පාදන රේගු කටයුතු සම්බන්ධ අරමුණු සඳහා එකඟ වූ භාණ්ඩ විස්තරය සහ කේතකරණ පද්ධති අංක යටතේ හඳුනාගෙන ඇති විදුලි භාණ්ඩ.

► සෞඛ්‍ය කාණ්ඩය

ඖෂධ නිෂ්පාදන, ඖෂධ (ආලේපන ද්‍රව්‍ය හැර), වෛද්‍යවරයකුගේ බෙහෙත් වට්ටෝරුවක් මත හෝ ඖෂධ නිෂ්පාදනය සඳහා මිලදී ගන්නා අමුද්‍රව්‍ය, ආයුර්වේද හෝ හෝමියෝපති (රෑපලාවණ්‍ය නිෂ්පාදන හැර) සඳහා වන අමුද්‍රව්‍ය.
කෘත්‍රිම අත් පා, කිහිලිකරු, රෝද පුටු, ශ්‍රවණාධාර, එවැනි උපකරණ හෝ උපකරණ සඳහා උපාංග, අන්ධ ජනතාව සඳහා සුදු සැරයටි, බ්‍රේල් යතුරු ලියන සහ කොටස්, බ්‍රේල් ලියන කඩදාසි , බ්‍රේල් ලිඛිත පුවරු සහ ආබාධිත පුද්ගලයින් විසින් භාවිතා කරනු ලබන වෙනත් භාණ්ඩ.

රෝහල් කාමර ගාස්තු හැර වෙනත් සත්කාර සපයන වෛද්‍ය ආයතන හෝ වෘත්තීය සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් සපයනු ලබන සියලුම සෞඛ්‍ය සේවා, ශල්‍යකර්ම සඳහා භාවිතා කරන දේශීයව නිෂ්පාදනය කරන ලද ශල්‍ය ගෝස්, වයෝවෘද්ධ සේවා සහ ළමා ආරක්ෂණ සේවා, රේගුවේ කේත අංක යටතේ හඳුනාගෙන ඇති අධි තාක්‍ෂණික වෛද්‍ය උපකරණ, වෛද්‍ය යන්ත්‍රෝපකරණ හෝ වෛද්‍ය උපකරණ, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා අවශ්‍ය උපකරණ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ඕනෑම අපනයනරුවකු විසින් ආනයනය කරන සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ සමාන නිෂ්පාදන, වෛද්‍ය උපකරණ, වෛද්‍ය යන්ත්‍රෝපකරන සහ සියලුම ගිලන් රථ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන ලද ඖෂධ නිෂ්පාදකයන් විසින් ආනයනය කරන ලද ඖෂධ, උපකරණ සහ අමතර කොටස්.

► කෘෂිකාර්මික කාණ්ඩය

කෘෂිකාර්මික ට්‍රුක්ටර් සහ වෙනත් ට්‍රුක්ටර්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, උදලු, මුල්ලු, පොහොර, කෘෂිකාර්මික බීජ, පැලවර්ග, කුකුළු ආහාර හැර ඉස්සන් වගාවට අවශ්‍ය ආහාර සහ සත්ව ආහාර, තේ කර්මාන්තය සඳහා භාවිත කරන දේශීය නිෂ්පාදිත යන්ත්‍රෝපකරණ, මසුන් ඇල්ලීමේ උපකරණ, දේශීයව නිෂ්පාදනය කරන ලද පොල් තෙල් කොහු කෙඳි, වගා මලු, පොල් හෝ කෙඳි පොල් ලෙලි, ශ්‍රී ලංකාව තුළ නිපදවන සකස් නොකළ ඉස්සන්.

සීනි හෝ වෙනත් රසකාරක අඩංගු පිටි කිරි හැර දේශීයව නිෂ්පාදනය කරන ලද කිරි නිෂ්පාදන, දේශීය සහල් සහ සහල් වලින් සකසන ලද නිෂ්පාදන, නිවුඩ්ඩ යොදාගෙන නිෂ්පාදනය කරන තෙල්.

කුකුළු පාලනයට අවහ්‍ය උපකරණ, කුකුළු ඉන්කියුබේටර් සහ පැටවුන්, අභිජනන අරමුණු සඳහා ආනයනය කෙරෙන ගවයන්, මී ගවයන්, කුකුළු මස්, ඌරන්, එළුවන්, බැටළුවන් සහ අභිජනන අරමුණු සඳහා එවැනි සතුන්ගේ ශුක්‍රාණු සහ කළල.

► කර්මාන්ත කාණ්ඩය

රෙදිපිළි කර්මාන්තය සඳහා භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තය සඳහා භාවිත කරන ඩයි වර්ග, දේශීයව නිෂ්පාදිත අත් යන්ත්‍ර රෙදිපිළි.

සූර්ය බලශක්ති උත්පාදනය සඳහා සූර්ය පැනල මොඩියුල, උපාංග හෝ ගෘහ සූර්ය පද්ධති, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා යොදාගන්නා යන්ත්‍ර සූත්‍ර හෝ උපාංග, මුතු, දියමන්ති, ස්වභාවික හෝ කෘත්‍රිම, වටිනා හෝ අර්ධ වටිනා ගල්, දියමන්ති කුඩු, වටිනා ලෝහ, රන් කාසි.

පුවත්පත් හැර, පොත් සඟරා, වාර සඟරා සහ රජයේ හෝ පළාත් සභාවක භාවිතයට නොගත් තැපැල් සහ ආදායම් මුද්දර, මාධ්‍ය උපකරණ හා යතුරුපැදි.

ඉදිකිරීම් කර්මාන්තය සඳහා භාවිත කරන යන්ත්‍රෝපකරණ, කිරි සැකසුම් යන්ත්‍රෝපකරණ, පරිගණක උපාංග සහ පරිගණක, රෙදිපිළි කර්මාන්තය සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර සහල් ඇඹරුම් කර්මාන්තය සඳහා භාවිත කරන යන්ත්‍රෝපකරණ.

සම් සහ සම්වලින් සැකසූ පාවහන්, බෑග්, කුලී රථ මීටර්, ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ භාණ්ඩ භාවිතා කරන විලාසිතා ආභරණ නිෂ්පාදනය සඳහා වන යන්ත්‍රෝපකරණ සහ උපකරණ; පළතුරු බීජ; බේකරි නිෂ්පාදන සහ ඒ සඳහා වන යන්ත්‍රෝපකරණ සහ උපකරණ.

මෙරට නිෂ්පාදිත මැටි සෙවිලි උළු හා රසායනික නැප්තා, දේශීය සීනි, දේශීයව නිපදවන ස්වර්ණාභරණ. දේශීය නිෂ්පාදිත වියළි පොල්, රබර්, රබර් කිරි, තේ, බිත්තර, දියර කිරි වැනි නිෂ්පාදන.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් හෝ ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුමකට එළැඹී ඇති ආයතනයක් මගින් යන්ත්‍ර සූත්‍ර හෝ උපකරණ සැපයෙන විදුලිය හා බලාගාර සඳහා.

ජාතික ශිල්ප සභාව මගින් පිත්තල භාණ්ඩ නිෂ්පාදනය සඳහා ආනයනය කරන පිත්තල තහඩු, පිත්තල ඉටි, නූල්, ඩයි පැරෆින් ඉටි හෝ සෙලැක් වර්ග සඳහා.

► සේවා කාණ්ඩය

ඕනෑම පුද්ගලයකු හෝ හවුල් ව්‍යාපාරයක් මගින් සපයනු ලබන අධ්‍යාපනික සේවා, පෞද්ගලික ප්‍රවාහන සේවා, ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයකු විසින් භූමදාන හා ආදාහන කටයුතු සම්බන්ධයෙන් සපයන සේවා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයට ඔබ්බෙන් පිහිටි අවන්හල් සේවා, මූල්‍ය සේවා, ටවර් හෝල් රඟහල පදනම හෝ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පිහිටුවන ලද සංස්කෘතික අරමුදල මගින් සැපයෙන සේවා, වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවාවන් සපයනු ලබන ඕනෑම අපනයනකරුවකුට හෝ ශුන්‍ය ශ්‍රේණිගත සේවා සපයන සේවා සපයන්නකුට, බදු පැනවේ.

දේශීය විදුලි සංදේශ ක්‍රියාකරුවන්ට අමතරව බාහිර ගේට්වේ ක්‍රියාකරුවන් විසින් සපයනු ලබන ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා, රාජ්‍ය, පළාත් හෝ පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන මහජන පුස්තකාල සේවා, කුලී යාත්‍රා සේවා, ඕනෑම දේශීය රක්‍ෂණ සමාගමක් මගින් රක්ෂණ ව්‍යාපාරයෙන් උපයන කොමිස් සහ හානිපූරණය සේවා, චිත්‍ර ශිල්පීන් විසින් අලෙවි කරන චිත්‍ර, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා විසින් අනුමත කළ හැකි පරිදි ඕනෑම ක්‍රීඩකයකුට, ඕනෑම ක්‍රීඩා ඉසව්වක සංවිධායකයකුට හෝ ක්‍රීඩාවට සම්බන්ධ ඕනෑම ක්‍රීඩා ඉසව්වකට හෝ ක්‍රියාකාරකමකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන අනුග්‍රාහකයකුට හෝටල් නවාතැන් පහසුකම් සේවා සඳහා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයකු විසින් මෙරටට පැමිණෙන සංචාරයන් සම්බන්ධයෙන් සපයන සේවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා (පෞද්ගලික) සමාගමට හෝ එයාර් ලංකා කේටරින් සර්විසස් ලිමිටඩ් වෙත ලබා දී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන සේවා සැපයීම සඳහා අවශ්‍ය කරන (මෝටර් වාහන සහ පෞද්ගලික භාවිතය සඳහා භාණ්ඩ හැර) වෙනත් ඕනෑම භාණ්ඩයක් සඳහා, විදේශ මුදලින් ගෙවීම සඳහා තීරුබදු රහිත සාප්පු සඳහා භාණ්ඩ ආනයනය කිරීම සහ සැපයීම සඳහා.

► වෙනත්

උණුසුම් වායු බැලූන, ආනයනිත දැව කඳන්, වේවැල්; චිත්‍රපට බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය, චිත්‍රපට නිෂ්පාදනය සඳහා රසායනාගාර පහසුකම් සහ ඒ සඳහා වන උපකරණ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර වැඩිදුර සැකසීමට හෝ මුද්‍රණය සඳහා පිටරට යවන සියලු චිත්‍රපට. ව්‍යාපාරවලට සම්බන්ධ පාර්සල් තැපෑලෙන් හෝ කුරියර් මගින් රුපියල් දස දහසකට නොවැඩි වටිනාකමකින් යුත් පුද්ගලික අයිතම සහ සාම්පල, වැනි බොහෝ භාණ්ඩ හා සේවා වැට් බද්දට හසුවනු ඇත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා-දේශය

Related Articles