රනිල් වික්‍රමසිංහ තේරුම් ගත හැකිද ?

රනිල් වික්‍රමසිංහ තේරුම් ගත හැකිද ?

වෙබ් මාධ්‍යවේදියෙක් වන භාරත තෙන්නකෝන් රනිල් වික්‍රමසිංහ ගැන විග්‍රහයක් ඉදිරිපත් කරමින් පවසන්නේ. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වන්නේ ඔහු පරාජිතව කුජිත වූ විට බවයි.එම අවස්ථාවන්හිදී දියුණු පාලන ලක්ෂණ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන කතා කිරීමට රනිල් වික්‍රමසිංහ පසුබට නොවේ ඉන් අනතුරුව යම් කාලයකට ඔහු විශ්වාසවන්ත නායකයකු ලෙස හැසිරෙන්නට පටන් ගන්නා බවයි භාරත තෙන්නකෝන් පෙන්වා දෙන්නේ. පසුව ඔහු අන්තේ වසිකයින් සමඟ හිතුවක්කාර සහ උද්දච්ච ලෙස හැසිරෙන්ට පටන්ගනී. මේ හැසිරීම හමාර වන්නේ යලිත් බිංදුවට වැටීමෙනි. ඔහු කිසිදු විටෙක මැතිවරණ දෙකක් එක ලඟට ජයග්‍රහණය කොට නැති බව භාරත පෙන්වා දෙයි.මේ විග්‍රහයට අනුව රනිල් වික්‍රමසිංහ යනු සට කපට නායකයෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .ඒ සුමන්තිරන් මේ හා සමාන කථාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය .ඔහුට අනුව රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රශ්නය විසඳීම ගැන බොහෝ දේ කළත් කළ කිසිත් නැත . උතුරු නැගෙනහිර දෙමළ චන්දය එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමේ දී රනිල් වික්‍රමසිංහ සාධකය බල පෑ බවට සැක නැත. දහතුන් වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කතිකාවක් දියත් කරන බව පැවසුවේ රනිල් වික්‍රමසිංහය. සර්ව පාක්ෂික සමුළු කීපයක්ම පැවැත්වූ නමුත් සිදුවූ දෙයක් නැත.

කියන දේ හා කරන දේ අතර පරතරය පුළුල් කරමින් බලය හැසිරවීමට සමත් නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ විග්‍රහ කල හැකිය. ඒ එක් විග්‍රහයකි.

ශුර පාලකයෙක්

රජය තන්ත්‍රය නිසි පරිදි හැසිරවීමට දන්නා ශුර පාලකයෙක් යන්න තවත් විග්‍රහයකි . රනිල් වික්‍රමසිංහට පක්ෂ හැම දෙනාම විවාදයෙන් තොරව පිළිගන්නා කරුණක් වන්නේ හුදු එක ජාතික ලැයිස්තු ආසනයක් ඇතිව විධායක ජනාධිපති කම තමන්ගේ ප්‍රතිවාදියා වූ රාජපක්ෂ වරුන් වෙතින් ලබාගැනීම පුදුම දනවන සුළු කරණයක් වන බවයි . ඔහු ගේ මෙහෙයවීම නොවන්නට ශ්‍රී ලංකාව තවකාලිකව හෝ මේ අර්බුදය සමහන් කරගත නොහැකිව අරාජික තත්ත්වක් ගොඩ නැගීමට ඉඩ තිබුණු බවයි මේ පිරිස තර්ක කරන්නේ.

ඉන්දියානු විද්වතෙකු සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අශෝක් කේ. මේතා පවසන්නේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රායෝගිකත්වය, මධ්‍යස්ථභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අභියෝග වලට හොඳින් කළමනා කරගත හැකිවී තිබෙන බවයි .

ආරක්ෂක කටයුතු විශ්ලේෂක රොහාන් ගුණරත්න පවසන ආකාරයට වික්‍රමසිංහගේ “ශක්තිමත් නායකත්වය” සහ “ජාතික ආරක්ෂාව සඳහා වූ ඔහුගේ කැපවීම” අගය කල යුතුය. වික්‍රමසිංහ යනු “ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේ ප්‍රධාන චරිතයක්” බවත් ඔහු “සිංහල සහ දෙමළ යන දෙඅංශයෙන්ම ගරු කරන” බව රොහාන් ගුණරත්න පවසයි.

ජාතික සාම මණ්ඩලයේ ශ්‍රී ලංකා විධායක අධ්‍යක්ෂවරයෙකු වන ජෙහාන් පෙරේරාට අනුව වික්‍රමසිංහ “මධ්‍යස්ථ මතධාරියෙකු” බවත්, “සංවාදයෙන් සහ සම්මුතියෙන් ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට කැපවී සිටින” නායකයෙක් බවත් ඔහු පවසයි .

ශ්‍රී ලංකාවේ දේශපාලන විද්‍යාඥයෙකු සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන දයාන් ජයතිලක ජයතිලක ගේ විග්‍රහය අනුව , වික්‍රමසිංහගේ “බුද්ධිමය හැකියාව” සහ “ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා වූ කැපවීම” අගය ක යුතු අතර ඔහු “තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සම්මුතිවලට එළඹීමට කැමති” “ප්‍රායෝගික නායකයෙකු”ය.

මේ අනුව බලන විට රනිල් වික්‍රමසිංහ යනු මේ අර්බුදකාරී සමය සඳහා වඩාත් ගැලපෙන නායකයාය.

ඉතිහාසයේ තරාදිය

වික්‍රමසිංහ භූමිකාව පිළබඳව දෙකොනකින් නැගෙන විවේචන සහ ප්‍රසංශා ඉතිහාසයේ තරාදිය විසින් කිරා බැලීමකට ලක්වෙනු ඇත. මේ අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ක්‍රියාකලාපය පිළබඳව හොඳ නරක විමසීමට වඩා ඒ ක්‍රියාවලියේ ස්වාභාවය විමසීමයි.

යථාර්තය තරමක් සරල කළහොත් රනිල් වික්‍රමසිංහ මෙහෙයුම එක අතකට මැකිවෙලියානු මෙහෙයුමකි. බලය ගැනීමේදී හොඳ නරක කියා දෙයක් නැත. ඇත්තේ බලය ගැනීම පමණකි යැයි කුමාරවරුන්ට උපදෙස් දුන් ඉතාලි චින්තක මැකිවෙලි පැවසීය . බලය ලබා ගෙන එම බලය ලබාගැනීම සඳහා තමන්ට හොඳින් ක්‍රීඩා කළ හැකි පිට්ටනියක් සහ තමන්ට වඩා දුර්වල ක්‍රීඩකයින් පිරිසක් සොයා ගත යුතුය.

අනෙක් අතට රනිල් ඉතාලි ජාතික මාක්ස්වාදී චින්තක අන්තෝනියෝ ග්‍රම්ස්චි ගේ උපදෙස් තමන්ට ගැලපෙන ලෙස හොඳින් අනුගත වී ඇත. බලය ලබා ගැනීම යනු ඇඟේ හයියෙන් කල හැකි දෙයක් නොවේ .බලය ලබා ගැනීම සඳහා කල්පනාකාරී ලෙස බුද් ධිය මෙහයවා ප්‍රතිවාදියා පරාජය කල යුතුය .

රනිල් වික්‍රමසිංහ සොයාගත් දුර්වලයින්ගේ පිට්ටනිය වුයේ අතාර්කික ශ්‍රී ලංකික ඡන්දදායකයාය. මෙය රනිල් වික්‍රමසිංහට පමණක් අදාල වූ හොයා ගැනීමක් නොවේ . ඩී එස් සේනානයක ගෙන් පටන් ගෙන අඩු වැඩි වශයෙන් ශ්‍රී ලංකික නායක යින් වැඩි දෙනෙක් මේ සෙල්ලමේ නිරත වුහ . එහෙත් ඉතා තීව්‍ර සහ ශුර ලෙසින් මේ සෙල්ලමේ නිරත් වුනේ රනිල් වික්‍රමසිංහ යයි කිවහොත් ඒ ගැන කල්පනා කර බැලීම පුරවැසියන්ට ගුණදායක විය හැකිය.

                Niccolo Machiavelli                                                                                                                                            Antonio Gramsci

Related Articles