විදුලි වැටෙන් අලි – ඇතුන් අතරමං

විදුලි වැටෙන් අලි – ඇතුන් අතරමං

සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින් නීති විරෝධීව විදුලි වැටක් ඉදිකිරී මෙන් පරිසර විනාශයක් සිදුවෙන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙයි.

කිලෝමීටර 7 ක් පමණ දිග, අක්කර 30 කට වැඩි වනාන්තර තීරයක ශාක කපා ඉවත් කර වනාන්තර එළිපෙහෙළි කිරීම මේ වන විට රජවක වන රක්ෂිතය තුල සිදුව ඇත.

සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15 ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු වී ඇත මේ මගින් සමනල වැව ජල පෝෂක වී ඇත. මෙම විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් සමනල වැව, කොස්ගම තලාව, කොස්ලන්ද, සොරගුනේ හා වෑඑළිය ඇතුළු අක්කර 2000 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් අලි – ඇතුන්ට අහිමි වේ. නිවැරදි සැලැසුමකින් තොර ව විශාල වනාන්තර පද්ධතියක් දෙකඩ කර අලි – ඇතුන් ගේ වාසස්ථාන අවහිර කර විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් අනාගතයේ දී දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ වර්ධනය වනු ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකළමුල්ල, දෙනිපිටිය, ගොමිඅරාව, කෙරතල, වෑගුණපට්ටිය හා බලිදුවැව යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙම විදුලි වැට ඉදි කිරීමට යෝජිත වී ඇත. ඒ සඳහා සමනල වැව වනාන්තරය දෙකඩ කර විදුලි වැටක් ඉදි කිරීම අවශ්‍ය නොවන අතර මෙම ගම්මාන වට කර පෝටකඩ සිට ඇල්ලකඳුර ගල දක්වා විදුලි වැට සකස් කළ විට මේ සියලූ ම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම පාලනය වේ. මේ වන විට කෙරතල ගම්මානය වටා විදුලි වැටක් සකස් කර ඇත. ඒ ආකාරයෙන් අනෙක් ගම්මානවලට ද අලි – ඇතුන් පිවිසීම පාලනය කළ හැකි ය. ඒ වෙනුවට දැවැන්ත වන විනාශයක් හා සුවිශේෂී වනාන්තර පද්ධතියක් දෙකඩ කිරීම අවශ්‍ය නොවෙන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ .

Related Articles