විධායක  ජනාධිපති  ක්‍රමයට මොකද වෙන්නේ?

විධායක ජනාධිපති ක්‍රමයට මොකද වෙන්නේ?

ගෝඨාභය රාජපක්ෂ සහ ඩී බී විජේතුංග හැරෙන්නට බලයට පත්වූ සෑම විධායක ජනාධිපතිවරයෙක්ම කියා සිටියේ ජේ ආර් ජයවර්ධන ඇති කල විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි .ජනතා විමුක්ති පෙරමුණ වරක් තමන්ගේ අපේක්ෂක නිහාල් ගලප්පත්ති ජනාධිපති තරඟයෙන් ඉවත් කර ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය චන්ද්‍රිකා කුමාරතුංග ලවා ඉවත් කරගන්නා බව පොරොන්දුවක් ලබා ගෙනයි.දැන් විධායකය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක දැඩි ලෙසින් නිහඬ ය. සජිත් ප්‍රේමදාස හැසිරෙන්නේ රටේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබේද නැද්ද යන ගානටය .
.
වික්‍රමසිංහ ජනාධිපතිවරයා විධායක බලය ඉවත් කිරීම සම්බන්ධයෙන් කථා කරන්නේ නැත .එහෙත් පොදු අපේක්ෂකයා වීමට උත්සාහ කරමින් සිටින රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව ඉදිරියට ගැනීමට ඉඩ ඇත . මන්ද පොරොන්දු දේශපාලනය පිළිබඳව ඔහුට ඇත්තේ මනා පළපුරුද්දකි.

මෙවර ජනාධිපති මෙන්ම මහ මැතිවරණ වලදීත් තීරණාත්මක සාධකය වන්නේ සියයට තිහක් පමණවන පාවෙන ඡන්දයි මෙම ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව ඉදිරියේදී ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ .

අනෙක් අතට ජනාධිපතිවරනයෙන් ජය ගැනීමට ඉඩක් නැතැයි රනිල් වික්‍රමසිංහට තේරුම් ගියහොත් යන යකා කොරහත් බිඳගෙන ගියාට කම් නැතැයි සිතා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කිරීමට ඉද ඇත . මීළඟ පාර්ලිමේන්තුවේ තමන්ට නො චාන්ස් බව පොහොට්ටුවේ නඩයට තේරුම් ගිය හොත් ඔවුන්ද යෝජනාවට එකඟ වීමට ඉඩ ඇත .මන්ද බලය නැති විටකදී සර්ව බලධාරී විධායක ජනාධිපතිවරයෙකුට වඩා බලය විසිරී ගිය පාර්ලිමේන්තුවක් තිබීම ගුණදායකය .එම විසීරී යාම තුල යම් බලයක් රඳවා ගැනීමේ හැකියාව පොහට්ටුවට තිබිය හැකිය.

විධායක ජනාධිපති ක්‍රමය තවමත් සිවිල් සමාජ මතෘකාවක් බවට පත්වී නැත . එය සිවිල් සමාජ කතිකාවතට එක්වූ පසු අනුර හා ස්ජිත්ටත් ඒ ගැන කථා කිරීමට සිදුවනු ඇත.

Related Articles