සත්‍යයේ පතුලින් ගැලු ගාන්ධි වචනය

සත්‍යයේ පතුලින් ගැලු ගාන්ධි වචනය

කිසියම් ජාතියකට තමන්ගේ අනාගතය තීරණය කිරීමටත්, තමන්ගේම රජයක් පිහිටුවාගැනීමටත්, බාහිර බලපෑම් හෝ නියෝගවලින් තොරව තම අවශ්‍යතා ඉටුකර ගැනීමටත් අයිතියක් ඇත. ජාතික රාජ්‍යයේ පදනම එයයි . බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව දියත් කල දැවැන්ත අවිහිංසාවාදී ව්‍යාපාරයට නායකත්වය දුන් මහත්මා ගාන්ධිගේ දේශපාලන සහ සමාජ පරිවර්තන ව්‍යාපාරයේ අරමුණ වූයේ එම මූලික සිද්ධාන්ත රැකගැනීමයි.

දකුණු අප්‍රිකානු අරගලයේදී

මේ මොහොතේ ශ්‍රීලංකාව සිටින්නේ ජාතික රාජ්‍යයේ පවුරු පදනම් දෙදරා යන මොහොතක නොවේද ?

ගාන්ධි හෙළි කළ මග සාමකාමී සමාජ විප්ලවයකි. බුද්ධිමය පරිවර්තනයකි. විවිධාකාරයෙන් පීඩාවට ලක්ව සිටින ජාතීන්ට ඉන් ලබාදෙන්නේ වටිනා දැක්මකි. ශ්‍රී ලංකාවේ වර්තමානයේ දක්නට ලැබෙන දේශපාලන සහ සමාජ ආර්ථික අර්බුදවලට විසදුම් සෙවීමේදී ද ගාන්ධි දර්ශනය පිටුබලයක් වනු ඇතැයි සිතිය හැක.

අවිය අවිහිංසාවයි

ඉන්දියානු නිදහස දිනා ගැනීම පිණිස ගාන්ධි යොදාගත් අවිය අවිහිංසාවයි, එසේම සත්‍යයේ බලයයි. අවිහිංසාවාදී ලෙස ජනතා බලය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොර විරෝධතා පැවැත්වීම සහ සත්‍යග්‍රහ සංවිධානය කිරීම මගින් ජනතා බලය සහ ශක්තිය ප්‍රදර්ශනය කිරීම ඉන් අරුත් ගැන්විණ. 1947 දී, දශක ගණනාවක් මුළුල්ලේ පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය පෙරලා දැමීමට මහත්මා ගාන්ධි නමින් ලොව හඳුනාගන්නා මේ කුඩා මිනිසාට හැකිවිය. ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු ගාන්ධි දුන් අවිහිංසාවාදී විප්ලවීය පණිවිඩය විවිධ රටවල නායකයන්ට මෙන්ම සමාජ ක්‍රියාධරයන්ට ආදර්ශයක් මෙන්ම දිරිගැන්වීමක් බවට පත්විය.

 

මාර්ටින් ලූතර් කිං

අමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණ මෙහෙයවූ මාර්ටින් ලූතර් කිං ඉන් එක් කැපී පෙනෙන චරිතයක්. සැමට සමාන අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් හඬ නැගීම කළු ජාතික මාර්ටින් ලූතර් කිං ගේ ඒකායන අරමුණ විය. 1963 දී වොෂින්ටනයට රැස්වූ 250,000කගේ දැවැන්ත පා ගමනක උච්චතම අවස්ථාවේදී මාර්ටින් ලූතර් කිං මුළු ලොවම අවදිකරමින් කළ ප්‍රකාශයයි මේ.

 

”මට සිහිනයක් තියෙනවා,’
පෙර දවස වහලූන් ගේ පුතුන් සහ පෙර දවස වහල් හිමියන් සහෝදරත්වයේ මේසයේ එකට වැඩිවී සිටීමේ සිහිනයක් ඇත මට දකින්නට ‘ යැයි ලුතර් පැවසුවේ සිදු කළු භේදයකින් තොරව අවිහිංසාවාදී ලෙස පෙරට ගමන් කිරීමේ මාර්ගයක් ඇති බව පෙන්වා දෙමිනි.

 

නෙල්සන් මැන්ඩෙලා

නායකයන් දෙදෙනාම සමානාත්මතාවය සහ නිදහස සඳහා වූ ඔවුන්ගේ අරගලවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්හ. දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව දැවැන්ත අරගලයක නිරත වූ නෙල්සන් මැන්ඩෙලා, ගාන්ධි ඔහුගේ “දේශපාලන ගුරුවරයා” ලෙස විවෘතව ප්‍රකාශ කළේය. නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු වර්ණභේද විරෝධී විප්ලවවාදියෙක්, හා දේශපාලන නායකයෙක් විය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය උදෙසා ඔහු දියත් කළ අරගලය, ආරම්භයේදී සාමකාමී විරෝධතා, වැඩවර්ජන වලින් යුත් අවිහිංසාවාදී ප්‍රතිරෝධයක් විය. අවසානයේ එහි ප්‍රථිපලයක් ලෙස ඔහු 1994 සිට 1999 දක්වා දකුණු අප්‍රිකාවේ පළමු කළු ජනාධිපතිවරයා බවටද පත් විය.

 

දලයි ලාමා

“20 වැනි සියවසේ වඩාත්ම ”බලගතු පුද්ගලයා සහ ආධ්‍යාත්මික නායකයා” තිබෙතයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා, මහත්මා ගාන්ධි හඳුන්වා දෙමින් කියා සිටියේ ගාන්ධිගේ ඉගැන්වීම් හා චින්තනය තම ජීවිතය හැඩගස්වා ගැනීමට මහත් ජීවයක් හා ආස්වාදයක් ලබා දුන් බවයි. දලයි ලාමා සහ ගාන්ධි යන දෙදෙනාම ධනාත්මක සමාජ වෙනසක් සාක්ෂාත් කර ගැනීමේදී අවිහිංසාව, සාමය සහ සත්‍යයේ වැදගත්කම අවධාරණය කළහ. පීඩා හමුවේ වුවද සාමකාමී මාර්ග ඔස්සේ ඉලක්ක කරා ගමන් කිරීම, ඔවුහු විශ්වාස කළහ.

 

වයස අවුරුදු 18 දී, නීතිය හැදෑරීම සඳහා ලන්ඩනයට ගිය ගාන්ධි, අවසානයේ නීතිඥයෙකු ලෙස සුදුසුකම් ලැබීය. එහෙත් නීති වෘත්තිය ගැන තිබූ බලාපොරොත්තු බිඳ වැටුනේ ඉන්දියාවේදී ඔහුගේ පළමු නඩුව පරාජයට පත්වීමත් සමගයි. එයින් පසු නැවතත් ඉන්දියාවෙන් පිටව යනු ඔහු දකුණු අප්‍රිකාවේදී යලිත් නීතිඥ වෘතිය ආරම්භ කළේය. එහිදී ඔහු උසාවියේදී සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමින් නිසි ලෙස මුහුණ දීමට නොහැකිවී සේවාදායකයාට මුදල් ආපසු ලබා දී උසාවියෙන් පලා යාමට සිදුවී තිබේ.

අවිහිංසාවාදී සත්‍යග්‍රහ

දුම්රිය මැදිරියෙන් පිටතට

1893 දී මහත්මා ගාන්ධි දකුණු අප්‍රිකාවේදී පළමු පන්තියේ දුම්රිය මැදිරියක ගමන් කරමින් සිටියදී සුදු ජාතිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු බලහත්කාරයෙන් ඉවත් කරන ලදී. තරුණ නීතීඥයෙකුවූ ගාන්ධි මින් පෙර එවැනි අත්දකීමකට මුහුණ දී නොතිබිණ. එම කටුක අත්දැකීම, දකුණු අප්‍රිකාවේ වෙසෙන ඉන්දියානුවන් මුහුණ දෙන සමාජ අසාධාරණයට එරෙහිව සටන් කිරීමට ඔහු තවදුරටත් පෙළඹවීමට තුඩුදුන්නේය. ඉන්දියානු ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට අවිහිංසාවාදී සත්‍යග්‍රහ ආරම්භ කරන්නේ එම සිද්ධියත් සමඟයි. ඔහු පුද්ගලයන්ට වෙනස් කොට සැලකීමේ නීති සහ රෙගුලාසි වලට එරෙහිව විරෝධතා සහ උද්ඝෝෂණ මෙහෙයවීය. ඉන්දියානු සංක්‍රමණිකයන් වූ පමණින් ඔවුන්ගෙන් බද්දක් පවා අයකර තිබුණි. ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් මත පැනවූ පවුම් 3 ක බද්ද ඉවත් කරන ලෙස ඉල්ලා ගාන්ධි වැඩ වර්ජනයක් දියත් කරමින්, 2000කට වැඩි පිරිසකගේ පා ගමනක් මෙහෙයවීය. බද්ද ඉවත් කල නමුත් ඔහු අත්අඩංගුවට ගෙන මාස නවයකට සිරගත කරන ලදී. බද්ද ඉවත් කෙරිණ.

දකුණු අප්‍රිකාවේදී ලත් පන්නරයත් සමඟ ආපසු ඉන්දියාවට පැමිණි ගාන්ධි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සත්‍යග්‍රහ ව්‍යාපාර සහ විරෝධතා ව්‍යාපාර ආරම්භ කළේය.

1917 දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ චම්පරන් හි බ්‍රිතාන්‍ය ඉන්ඩිගෝ වැවිලිකරුවන්ගේ සූරාකෑමේ ක්‍රියාවන්ට එරෙහිව විරෝධතා.

1919 දී රාජද්‍රෝහී බවට සැක කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ඉඩ සලසන නීති බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කළ විට සිවිල් නීති කඩකිරීමේ විරෝධතා මෙහෙයවීය. අම්රිත්සාර් නගරයේ පැවති සාමකාමී විරෝධතාවයට එක්ව සිටි 20,000ක් හෝ ඊට වැඩි පිරිසකට වෙඩි තැබීමට බ්‍රිතාන්‍ය පාලනය විසින් ඉන්දීය හමුදා සොල්දාදුවන්ට නියෝග කරන ලදී. පුද්ගලයන් 400 ක් පමණ මිය ගිය අතර 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

1920-1922 බ්‍රිතාන්‍ය පාලනයට සහයෝගය නොදැක්වීමේ ව්‍යාපාරය. මේ යටතේ බ්‍රිතාන්‍ය භාණ්ඩ, ආයතන සහ බදු වර්ජනය කිරීම.

(1942): දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන් වහාම ඉන්දියාවෙන් ඉවත් විය යුතු යැයි ඉල්ලා සිටියේය. පුලුල්ව පැතිරුනු අත්අඩංගුවට ගැනීම් සහ භූගත ප්රතිරෝධයට හේතු විය.

1920-1922 දක්වා බ්‍රිතාන්‍ය භාණ්ඩ, ආයතන සහ බදු වර්ජනය කිරීම.

1930 දී ඔහු බ්‍රිතාන්‍යය ලුණු දේශීයව නිෂ්පාදනය කිරීම වෙනුවට බ්‍රිතාන්‍ය ලුණු මිලදී ගැනීමට ඉන්දියානුවන්ට බල කළේය. ගාන්ධි බ්‍රිතාන්‍ය නීතියට එරෙහිව දැවැන්ත සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළේය, ගාන්ධි ගුජරාටයේ බටහිර වෙරළ තීරයට සැතපුම් 241ක් දිග විරෝධතා පාගමනක් සංවිධානය කළ අ.ර, අරාබි මුහුදේ වෙරළ තීරයේ ලුණු නිෂ්පාදනය කළේය. සාමකාමී විරෝධතාකරුවන් 60,000 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණ.

1942 දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන් වහාම ඉන්දියාවෙන් ඉවත් විය යුතු යැයි ඉල්ලා සිටිමින් රට පුරා විරෝධතා සංවිධානය කෙරිණ. බ්‍රිතාන්‍ය පාලනය විසින් ගාන්ධි අත්අඩංගුවට ගෙන සිර ගත කරන ලදී. විශාල පිරිසක් අත්අඩංගුවට පත්වූහ.

ගාන්ධි 1944 දී සිරභාරයෙන් නිදහස් ලැබූ අතර මේ වන විට බ්‍රිතාන්‍යය ඉන්දීය උප මහද්වීපයෙන් ඉවත් වීමට සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුණි.

ඉන්දියාව අවසානයේ 1947 අගෝස්තු මාසයේදී නිදහස ලැබුවේය. නමුත් ගාන්ධි එය දුටුවේ මාස කිහිපයක් පමණි. ඉන්දියාව දෙකඩ වීමට විරෝධය දැක්වූ ගාන්ධි හින්දු අන්තවාදියෙකු විසින් 1948 ජනවාරි 30 දින ඝාතනය කරන ලදී. ඔහුගේ දැවැන්ත අවමංගල්‍ය පෙරහැරේ මිලියන 1.5 කට අධික ජනතාවක් ගමන් කළහ.

ඝාතනය

නිසල දේහය

මහත්මා ගාන්ධිගේ නිදහස් අරගලයේ ඉලක්කය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ඉන්දියාවේ සියලු ජාතීන් සඳහා ස්වයං පාලනයක් ලබා ගැනීමයි. එය සපුරා ගැනීමට හේතුවූයේ ගාන්ධිගේ සිය රට වෙනුවෙන් තිබූ අසීමිත භක්තිය, නොසැලෙන කැපවීම,අවිහිංසාව හා නොසැලෙන විශ්වාසයයි. ඔහුගේ නායකත්වය මගින් පෙන්වා දුන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර ක්‍රියා මාර්ග මගින් ජයග්‍රහණයන් අත්කරගත හැකි බවයි. එසේ ලබා ගත් නිදහසින් පසු ඉන්දියාව ආර්ථික හා සාමාජීය වශයෙන් විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටින රටකි.

ශ්‍රී ලංකාවට වසරකට කලින් නිදහස ලබා ගත් ඉන්දියාව ගෝලීය අභියෝග ජයගනිමින් සියලු ජාතීන් අතර සහයෝගීතාව ඇති කරමින් අනාගත අභියෝග ජය ගනිමින් සිටියි. මහත්මා ගාන්ධි දුන් ආදර්ශමත් නායකත්වය දිගු කලක සිටම ඉන්දීය නායකයෝ අනුගමනය කරමින් සිටිති. ඉන්දීය රජය මගින් දේශීය නිෂ්පාදන හා කෘෂි කර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය හා දේශීය ව්‍යාපාර සඳහා සහනදායි ණය යෝජනා ක්‍රම, ඒවාට බදු සහන සැලසීම, අපනයන සංවර්ධනය නංවාලීම ආදීය සඳහා දිරි දීම ලබා දෙයි. දේශීයත්වය අගය කිරීම එරට තුල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.

 

සඳ මතට

ඉන්දියාව විද්‍යා හා තාක්ෂනය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත යන සියලු ක්ෂේත්‍රවලින් ඉදිරියට යමින් සිටින රටකි. 2023 අගෝස්තු මාසයේදී සඳ මතට චන්ද්‍රිකාවක් යැවු හතරවැනි රට ඉන්දියාවයි. මේ වනවිට රටේ සංවර්ධන වේගය සියයට 6.3 කි.

ඉන්දියාව නිදහස ලබා වසර 3 ඉක්මවා යද්දී , එනම් 1950 දී ප්‍රාන්ත රාජ්‍ය (union states) ක්‍රමය හඳුන්වා දෙමින් බලය විමධ්‍ය ගත කළේය . ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම තවමත් පවතින්නේ දේශපාලන ගනු දෙනුවක ලෙස පමණි. මෙරට වසර 30 ක යුද්ධයක් ඇවිලී ගියේ ඉන්දියාවේ මෙන් සහජීවන පැවැත්මක් සහතික කරන නෛතික රාමුවක් සකස් කර ගැනීමට නොහැකි වු හෙයින් යැයි කෙනෙකුට තර්ක කළහැකිය.

ඉන්දියාවට වසරකට පසු, නිදහස ලබා ගත් ශ්‍රී ලංකාව මහත්මා ගාන්ධි වන් නායකයන් නොමැතිකම හේතුවෙන් වර්තමානය වන විට බංකොලොත් අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව තිබේ. කිසිදු දෘෂ්ටියක් හෝ සැලැස්මක් නොමැති අදූරදර්ශී දේශපාලකයන් විසින් රට මේ තත්වයට පත් කොට තිබේ. දේශීය ව්‍යාපාර වැසෙමින් පවතී. ග්‍රාමීය සංවර්ධනය, කෘෂිකර්මාන්තය, සෞඛය, අධ්‍යාපනය ඇතුළු සියලු අංශ පරිහානියට ලක්වෙමින් තිබේ. ඒ වෙනුවට දක්නට ඇත්තේ මහා පරිමාන දුෂණ හා වංචා වලින් පිරි රටකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත් ශ්‍රී ලංකාව මේ වන විට වෙනත් රටවල යටත් විජිතයක් බවට පත් වීමට ඉඩ හැර සිටින්නේද යන්න අද ජනතාව හමුවේ ඇති සංකීර්ණ ප්‍රශ්නයකි.

විමලසේන හේවගේ

 

 

 

 

Related Articles