නොමියන ප්‍රබුද්ධ – සේකර

නොමියන ප්‍රබුද්ධ – සේකර

ගුණ සැමරුමක් එළඹෙන විට ශ්‍රී ලාංකික සංස්කෘතියේ අද්විතීය කලාකරුවකු වූ මහගම සේකර සාහිත්‍යමය හෝ ගවේශනාත්මක සාකච්ජාවට විෂය වෙයි. සේකර මතකය එසේ සීමා විය යුතුද?

ශ්‍රේෂ්ඨ කවියෙකු වන විලියම් ෂේක්ස්පියර් හෝ විලියම් වර්ඩ්ස්වර්ත් වැනි කවියන් ඔවුන්ගේ අතිමහත් කලාත්මක වටිනාකම නිසා සැමවිටම සිහිපත් කෙරෙයි. එක්සත් රාජධානියේ එම කලාකරුවන් ජාතික උරුමයන් ලෙසයි සැලකෙන්නේ. ඔවුන් ජාත්‍යන්තර තලයේ කලාකරුවන් ලෙස කීර්තියක් උසුලා සිටින බව සැබෑවක්. නමුත් ගද්‍ය හා පද්‍යය සාහිත්‍යය, නාට්‍යය හා සංගීතය, චිත්‍ර හා කැටයම් ශිල්පය, මෙන්ම සිනමාව ඇතුළු විෂය ධාරාවන් රැසක සැරිසරා අසමසම දායාදයන් ශ්‍රී ලාංකික සංස්කෘතියට තිළිණ කොට පෝෂණය කල මහගම සේකරයන් සදා අනුස්මරණය කලයුතු බව බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණක්.

පුෂ්කින් , ගෝර්කි,රබීන්ද්‍රනාත් තාගෝර් ආදීන්ගේ මතක සැමරුම් එම ජන සමාජ වල ව්‍යවහාරික ජීවිතය හා ගහට පොත්ත සේ වෙලී පවතී

සේකරට ඔප් නැඟූ විසල් මේසයක් මත පාකර් පෑන් තුඩකින් ලියන්නට කවියක් තිබුනේ නැත ඔහුට තිබුනේ සෙනඟින් පිරී ගිය දුම්රියක වැඩ ඇරී එන කලට සෙනඟින් පිරී ගිය දුම්රියක පැන්සල් කෙටියෙන් කුරුටු ගාන්නට කවියකි.

ඔහු ගේ කවි සිතුවම් රට ගැන්වූ විශ්වය වුයේ හාත්පස සමාජයයි.

ඔහු විවිධ තේමාවන් ගවේෂණය කරයි. ශ්‍රී ලාංකීය සංස්කෘතිය ඔහුගේ කෘතිවල අරුත් ගැන්වෙයි. ඔහු සම්ප්‍රදායික සිංහල සාහිත්‍ය රීතීන්ගෙන් වෙන් වී නිදහස් පද්‍ය ආකෘතියක් වැළඳ ගනිමින් නව ප්‍රවේශයක් ගත් සාහිත්‍යකරුවෙක්.

සේකරගේ කෘති බොහෝ විට ශ්‍රී ලාංකික සමාජයේ සමාජ අසාධාරණයන් සහ අසමානතා සමඟ සම්බන්ධ වේ. ඔහු සංස්කෘතික වටිනාකම් අවධාරණය කරමින් සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටියේය.

ඔහු ගේ නෙතට වැරහැලි කාලකන්නි සේ මිනිස් ප්‍රාණ ගෙවන ජීවිතයත් එවන් ජීවිත නිර්මාණය කරනන් ඔහු දුටුවේ එකනෙකාට ප්‍රතිපක්ෂවය .

 

‘වහා නෙත් ඉවත හැරවීය ඔහු

ප්‍රිය සම්භාෂණය දෙසට

සිටියෝ විසිත්ත කාමරයෙහි

කළු කබා මහතා ටයි

තරබාරු ප්‍රභූවරු

ගරුතර මැති ඇමතිවරු

පිටිකර රැලි වැටුණු

කන්ද බඩ හොඳින් ආරපු

සංස්ථා ලොක්කෝ

සහ පෙරකදෝරුවෝ

පීරා ඈතින් කෙස් ගෙනත්

තට්ටය යන්තමින් වසා ගත්

රජයේ වර ලැබූ

ව්‍යාපාර හිමිකරුවෝ

ජාතික බැනියම් අඳින

චන්දයට සල්ලිත් දෙන

(ප්‍රබුද්ධ)

 

සේකර මවන අපුරු උත්ප්‍රාසය අද්‍යතන ජීවිතය ගැන යළිත් වතාවක් සිතා බලන්නට අපව පොළඹවන්නේ නැතිද?
එසේ නම් සේකර අධ්‍යතන සමාජය තුල සජීවව පිහිටුවාලීමට කටයුතු කල යුතු නොවේද ?

සේකර සිය සරල සහ ප්‍රබල භාෂා කෞශල්‍යය තුලින් අනිත්‍ය, දයානුකම්පාව සහ ආධ්‍යාත්මික තේමාවන් සොයා යන්නේ බොහෝ විට රූප සහ රූපක භාවිතා කරමින්. බෞද්ධ ඉගැන්වීම් සහ මරණය පිළිබඳ ඔහුගේ දෘෂ්ඨියද ඔහුගේ කාව්‍යන්හි අන්තර්ගතව තිබේ.

”බෞද්ධ සාහිත්‍යයේ සහ බෞද්ධ සංස්කෘතියේ ආභාෂය මහගම සේකරගේ නිර්මාණ තුලින් දකින්නට පුළුවන්. ඔහුගේ නාට්‍යවල එය මුලින්ම තිබුණු අතර පසුව ගීතයටත්, කවියටත් ඇතුල් වුනා”, සාහිත්‍යධරයකු හා ප්‍රවීන කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ.

මහගම සේකර සහ විලියම් වර්ඩ්ස්වර්ත් යන කවීයන් දෙදෙනා සංස්කෘතීන් හා කාලීන පසුබිම් දෙකකට අයත් වුවත් එකිනෙකා සොභාදහම දෙස එකම දෘෂ්ටියකින් බලන රෝමාන්තික කවියෝය. කවියන් දෙදෙනාම ස්වභාවික පරිසරය තුළ ජීවත්වෙමින්, එහි චමත්කාරය විඳිති.

රෝමාන්තික පරිකල්පනය

ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති ලේක් දිස්ත්‍රික්කය සහ විලියම් වර්ඩ්ස්වර්ත් වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත. විලියම් වර්ඩ්ස්වර්ත් වයඹදිග එංගලන්තයේ ජාතික වනෝද්‍යානයක් වන ලේක් දිස්ත්‍රික්කය අසල කලක් ජීවත් විය. එහි සුන්දරත්වය රෝමාන්තික කවියෙකු වන වර්ඩ්ස්වර්ත්ට ගැඹුරු ආභාෂයක් ලබා දුන්නේය. ඔහුගේ ‘ I wandered lonely as a cloud’, (මම වලාකුළක් ලෙස තනිව ඇවිද ගියෙමි) යන කාව්‍යය ඊට හොඳ නිදසුනකි.

සේකරගේ කවි බොහෝ විට තම උපන් ගම වන රදාවාන මුල්කරගත් පරිසරයේ සැරිසරයි. වර්ඩ්ස්වර්ත් ඉංග්‍රීසි ගම්බද ප්‍රදේශයේ සතුට, සැනසීම සහ අධ්‍යාත්මික සුවය සොයයි. කවියන් දෙදෙනාම ස්වභාවධර්මය සමඟ ඇති මානව සම්බන්ධතාවය ගෙන ඒම සඳහා විචිත්‍රවත් රූප සහ සංකේත භාවිතා කරයි. සේකර සහ වර්ඩ්ස්වර්ත් යන දෙදෙනාම රෝමාන්තික පරිකල්පනය තුලින් මිනිස් චින්තනය උසස් මට්ටමකට ගෙනැවිත් අප විශාල පරිවර්තනයකට යොමු කිරීමට කවියේ ශක්තිය යොදා ගනිති. බටහිර හා පෙරදිග සාහිත්‍යයේ බලපෑම් සේකරගේ සමහර කාව්‍යන්හි ඇතුළත්වන බව විචාරකයෝ පෙන්වාදෙති.

 

විලියම් වර්ඩ්ස්වර්ත් කවියා මීට වසර 250 කට පමණ පෙර එංගලන්තයේ කම්බ්රියා නගරයේ කොකර්මූත් ගම්මානයේ උපත ලැබීය. වර්ඩ්ස්වර්ත් හවුස් නමින් හැඳින්වෙන ඔහු උපන් නිවස සහ උද්‍යානය තවමත් සංරක්ෂිතකොට ජනතාවට දැක බලා ගැනීම සඳහා ඉඩ කඩ සලසා තිබේ. 1770 ගණන්වලවල ඔහු ගත කල ජීවිතය අත්විඳීමට සෑම වයස් කාණ්ඩයකටම අවස්ථාවක් ලබා දෙයි. දැනුමැති මාර්ගෝපදේශකයින් විසින් පැමිණෙන පිරිස් දැනුවත් කෙරෙති. ප්‍රදර්ශන සහ සාකච්ජා සංවිධාන කෙරේ. විලියම් වර්ඩ්ස්වර්ත් කවියාට ජීවිත කාලය පුරාම ආශ්වාදයක් ලබා දුන් සුන්දර ගං ඉවුර සහ උද්‍යානය, 18 වන සියවසේ එළවළු, පලතුරු, ඖෂධ පැළෑටි සහ මල් වර්ග වලින් පිරී පවතී. මේ සියල්ල සිදුවන්නේ එංගලන්තය පුරා ක්‍රියාත්මක ජාතික භාරය(National Trust) යටතේයි.

සේකර  උරුමය සංරක්ෂණය

මහගම සේකර කවියාට ගෞරවයක් වශයෙන් කැප වූ කෞතුකාගාරයක් හෝ ආයතනයක් නොමැතිකම නිසැකවම සැලකිය යුතු කරුණක් නොවේද? එවැනි ආයතනයක අවශ්‍යතාව කුමක්ද? සේකරගේ උරුමය සංරක්ෂණය කිරීම සහ සැමරීමයි ඉන් අදහස් වන්නේ. සේකරගේ කෘති, අත්පිටපත්, පුද්ගලික බඩු බාහිරාදිය සහ අනෙකුත් දෑ කේන්ද්‍රීය වශයෙන් තැන්පත්කොට සේකරගේ උරුමය සංරක්ෂණය කොට අනාගත පරම්පරාවන් සඳහා දායාද කිරීමයි ඉන් බලාපොරොත්තු වන්නේ. විද්වතුන්ට, සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට ඒවා අධ්‍යයනය කොට පර්යේෂණ කිරීමට ඉන් ඉඩ සැලසේ. මීට අමතරව, අධ්‍යාපන වැඩසටහන් මෙන්ම ප්‍රදර්ශන සවිධාන කල හැක. ඔහු ගැන සාරවත් අධ්‍යනයක් සහ ඇගයීමක් කිරීමට ඉන් අවස්ථාව උදාවෙයි. ඔහුගේ ලේඛන හැඩගැස්වීමට හේතු වූ ඓතිහාසික, සමාජීය සහ සංස්කෘතික බලපෑම ගවේෂණය කිරීම, සාහිත්‍යකරණයේදී අනුගමනය කල විප්ලවීය භාෂා විලාසය පරීක්ෂා කිරීම සහ ඔහුගේ කාව්‍යයන් තුළින් ප්‍රකාශ වන තේමා සහ පණිවිඩ විශ්ලේෂණය කිරීමට ඉන් ඉඩ සැලසේ. රදාවාන තුන්මංහන්දියේ ඉදිකොට ඇති සේකර පිළිරුව දුටුවිට ඊට වඩා යමක් සොයා බලා ගවේෂණය කල යුතු යැයි සිතුන අවස්තාවකදී එවැනි ආයතයක අවශ්‍යතාව දැනේ.

විද්වතුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ පාසල් සිසුන් තොරතුරු සොයා රදාවානට පැමිනෙන අවස්ථා තිබෙන බව මහගම සේකර මහා විද්‍යාලයේ විදුහල්පති සනත් මුදුන්කොටුව මහතා පැවසුවේය. මහගම සේකර කලාකරුවාගේ නිර්මාණවලට පාදක වූ ඇලදොළ ආදී පරිසරය වෙනස් වෙමින් තිබෙන බවයි ඔහු ප්‍රකාශකළේ.

‘සේකර සේයා’

‘’පාසල තුල මහගම සේකර සමරු වැඩසටහන් දිගටම පැවැත්වෙනවා. ‘සේකර සේයා’ නමින් ගුණ සමරු උත්සවයක් වාර්ෂිකව සංවිධාන කෙරෙනවා. වසර 30 පුරා පැවැත්වෙන එම උත්සවවලට සාහිත්‍යධරයන්, විද්වතුන්, පාසල් සිසුන් සහභාගී කර ගැනෙනවා. සේකර මහා විද්‍යාලය තුළ පුස්තකාලයක් තියෙනවා. ලොකු එකක් නොවෙයි. නමුත් පාසල් ළමුන්ට ඇවිල්ල බලල දැකල කතාබහ කරන්න යම් යම් දේවල් තිබිය යුතුයි. මේ සඳහා සම්බන්ධ වන ප්‍රමාණය, පුළුල් අනුග්‍රහයක් නොමැතිකම ගැටළුවක්. මුදල් ප්‍රශ්න තියෙනවා. පාසල් පුස්තකාලය තුල කියවීමේ ශාලාවක් හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියක් වැනි නවීන තාක්ෂණික පහසුකම් නැහැ’’

 

මහගම සේකර දිවියෙන් සමුගෙන අද වන විට වසර 48 ක්. මහගම සේකර කලාකරුවාගේ ගුණ සමුරු උත්සව ඉකුත්දා පැවැත්විණි . අපේක්ෂා කල යහපත් ලෝකයකට අවකාශය සලසමින්1976 ජනවාරි 14 වැනිදා ඔහු කලා ලොවෙන් සදහටම සමුගත්තේය.

සේකරගේ කලාත්මක ගමන ආරම්භ වූයේ සිතුවම් ඇඳීමෙන්. සෞන්දර්යය පිළිබඳ ඔහුගේ අවබෝධය ඔහුගේ සාහිත්‍ය කෘතිවලට ප්‍රබල ලෙස බලපෑවේය. රජයේ ලලිත කලා පාසලේ පුහුණුව ලැබූ සේකර පසුව එහි විදුහල්පති බවට පත් විය. මහගම සේකර පබැඳු ගීත රැසක් අතිශයින් ජනප්‍රියත්වයට පත්විය. රත්න ද්වීප ජන්ම භූමි, ඈත කඳුකර හිමව් අරණේ, සිනිදු සුදු මුතු තලාවේ, සිරිපා පියුමේ රොන් සුනු තැවරේ,අන්න බලන් සඳ රන් තැටියෙන්, යන ආදී ගීත මෙන්ම ඔහුගේම චිත්‍ර පටයක් වන තුන්මන් හන්දිය ඇතුළු චිත්‍රපට ගීත ඉතාම ජනප්‍රියත්වයට පත්ව තවමත් ඒහා සමාන අගයකිරීමකට ලක්වෙමින් තිබේ. දේශානුරාගී සහ සෞන්දර්යාත්මක ගීත දශක ගණනාවක් පුරා අසන්නට ලැබිණ.

 

එම අපූර්ව ගී නිර්මාණ පණ්ඩිත් අමරදේවයන්ගේ මධුර හඬ මුසුවීමෙන් ඒවායේ රසය දෙගුණ තෙගුණ වෙයි. ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට’ ගීතය ගැන අදහස් දක්වමින් , අමරදේවයන් සිය ‘ගී සර මුවරද’ පොතේ මෙසේ ප්‍රකාශ කොට තිබේ.

 

‘’මේ ගීතය බිහිවුණු ආකාරයේ ඉතාම රමණීයයි. එයට හේතුව ගීතයේ පසුබිම සිතින් පමණක් නොව ඇසින්ද දකින්නට මට අවස්ථාව ලැබීමයි. ගීතය මගේ අතට පත්වුණේ ඒ පරිසරය දකින්නට කලින්. පරිසරය දුටුවාට පසුව තමයි ගීතමය වශයෙන් මෙම නිර්මාණය නියමාකාරයෙන් පණ ගහන්නට පටන් ගත්තේ. සේකරගේ ගෙදර ගිය අවස්ථාවක, ඔහු තමා නාන තැනට මා එක්කරගෙන ගියා. සේකර නාන්නේ ලොකු අමුඩයකුත් ගහගෙන වක්කඩ ලඟ දිය වැටෙන පරිසරයේ තිබුණු සංගීතය මා ග්‍රහණය කර ගත්තේ ඒ අවස්ථාවේදී. ඇත්තටම සේකරගේ ගමේ වෙල් ලියැදි සහිත පරිසරය සිතට හසුවීම හේතුවෙන් , සංගීත නිර්මාණය පහසු වුණා.’’

මහගම සේකර කෞතුකාගාරයක් පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා සැලකිය යුතු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙයි. රජයේ අරමුදල් නොමැතිව එවැනි ආයතනයක් පිහිටුවීම අපහසුය. අධ්‍යාපනික වැඩසටහන්, සේකර කෘති පරිවර්තනය කොට අඩුවශයෙන් දකුණු ආසියානු රටවලට හඳුන්වාදීම තුලින් ජාත්‍යන්තර තලයට පිවිසීම,ඩිජිටල් ලේඛනාගාර වැනි වෙනත් ආකාරවලින් සේකරගේ උරුමය සුරැකීමට සහ ප්‍රවර්ධනය කිරීමට විකල්ප ක්‍රම හඳුන්වාදිය හැකිද? විද්වතුන්, සාහිත්‍යවේදීන් සහ සංස්කෘතික බලධාරීන් ඒ පිළිබඳව සැලකිලිමත් වන්නේ නම් එය අපහසු කාර්යයක් නොවනු ඇත. කෙසේවෙතත් මහගම සේකර සාහිත්‍ය උත්සවය, සහ මහගම සේකර පදනම ඇතුළු ආයතන කිහිපයක් මගින් සේකරගේ උරුමය රැකගැනීම උදෙසා ගුණ සමරු උත්සව හෝ පැවැත්වීමට සංවිධාන ගතව කැපවී සිටීම අගය කල යුතුය.

විමලසේන හේවගේ

Related Articles