පාර්ලිමේන්තුවට  සමාන්තර  මහජන  සභාවක් – විජයානන්ද  ජයවීර….

පාර්ලිමේන්තුවට සමාන්තර මහජන සභාවක් – විජයානන්ද ජයවීර….

අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවු පසු පාර්ලිමේන්තුවට සමාන්තර මහජන සභාවක් පිහිටුවීමට කටයුතු කළයුතු බව යුනෙස්කෝවේ අන්තර් ජාතික සන්නිවේදන වැඩසටහනේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කරමින් සමාජයීය න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයා හැකි මෙම සමාන්තර මහජන සභාවේ කැඳවුම් කරු ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයට කටයුතු කල හැකි බවත්, යෝජිත මහජන සභාවෙන් සියයකට 60%ක් සෘජුව මහජනතාවගෙන් පත්වන සාමාජිකයන්ගෙන්ද යුක්තව පහත සඳහන් සංයුතියට අනුව මහජන සභාවක් පත් කළ හැකි බව විජයානන්ද ජයවීර මහතා පෙන්වා දෙයි .

පහත පරිදි සංයුක්ත වන ලෙස එහි සාමාජිකයන් පත් කළ හැකිය:
– නිත්‍ය ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සාමූහිකව නම් කරණු ලබන තරුණයන් 50 දෙනෙක් (ස්ත්‍රී පුරුෂ සම සමව).
– විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය විසින් විමර්ශනය කොට නම් කරනු ලබන 75 දෙනෙක් – එම නම් කිරීම් අතරට විශ්ව විදයාලීය ආචාර්යවරුන්ට
අතිරේකව වෘත්තීය සමිති වයාපාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරය නියොජනය කරන මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියේජනය කරන අයද අවම වශයෙන්
විසිපස් දෙනකු වත්විය යුතුය.
– ඉතිරිය පළාත් වලට අනුව ඡන්ද දායක ලයිස්තුවෙන් අහඹු ක්‍රමයට (Randomly) තෝරාගත් පුරවැසියන් 150 ක් හෝ ඊට වැඩි ගණනකින් සමන් විත
විය යුතුය.
මහජන සභාව සඳහා තේරීපත් වීමේ සම්භාවිතාව හැම පුරවැසියෙකුටම එක සමානව හිමිවෙන අතර සම්ප්‍රදායික මැතිවරණ ක්‍රමයකින් තොරව මහජන සභාවට අවශ්‍ය සුජාත භාවයද ලැබේ. එහිදීද ස්ත්‍රී පුරුෂ අනුපාතය සමාන විය යුතු ය. ලොට් ඇදීම අනුව තෝරාගන්නා පුද්ගලයන්ගෙන් සහභාගි වීමෙ කැමැත්ත තහවුරු කරගත යුතු අතර සහභාගිවීමට අකමැති අය වෙනුවට ලොට් ඇදීමෙන්ම වෙනත් අය තෝරාගත යුතුය.

පත්වෙන අයගෙන් අඩක් වසරක් පාසා වෙනස් කිරීමෙන් මහජන මතය යාවත්කාලීනව සභාව තුළ නිරූපණය කර ගත හැකිය.

මහජන අභිලාෂයන්ට අනුව මහජන සභාවේ මූලික කාර්යය වන්නේ අරගලය විසින් හුවා දක්වන ලද මහජන අභිලාෂයන්ට අනුව අදූෂිත සහ පාරදෘෂය ආණ්ඩුකරණයක් පවත්වාගෙන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේද යන්න සංනිරීක්ෂණය කරමින් පාර්ලිමෙන්තුව විසින් ප්‍රමුඛත්වය දිය යුතු කටයුතු මහජන සංවිචාරණයකට (deliberation) ලක්කරමින් නිර්ණය කිරීමයි.

මෑත විචාරක අවධානයට බෙහෙවින්ම පාත්‍ර වූ සංවිචාරණීය සමාජයක් නමැති කෘතියේ කතුවරයා වන විජයානන්ද ජයවීර පවසන්නේ අයිස්ලන්තයේ හා මොන්ගෝලියාවේ පැවැති මෙවැනි සංවිචාරණිය සභා ක්‍රමයන් පිළිබඳව වැඩි විස්තර තම කෘතියට ඇතුල් කොට ඇති බවයි.

මහජන සභාව පිළිගණු ලබන ඕනෑම නිර්පාක්ෂික සමාජ කණ්ඩායමකට හෝ සමාජ ක්‍රියාකාරිකයෙකුට මහජන සභාව හමුවේ සවිස්තර නව යෝජනා ඉදිරිපත් කළ හැකි අතර එවැනි යෝජනා විවාදයට ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම මහජන සභාවේ අභිමතය අනුව සිදුවිය යුතු බවයි ජයවීර පෙන්වා දෙන්නේ.

Related Articles