සිඳු පෙරළිය

සිඳු පෙරළිය

සිඳු :සෝරත හිමි සමිද්ධිරතන හිමි බවට පත්වීම
සිඳු ටෙලි නාට්‍යයේ සෝරත හිමි ලෙස රඟ පෑ කවීශ් විහඟ මහන දම් පුරන්නට ගිය බව ආරංචි වූ විට මාධ්‍යවේදී මිතුරෙක් පැවසුවේ එය ටෙලි නාට්‍යක කොටසක් විය හැකි බවයි . එහෙත් එය එසේ නොවන බව දැන් පැහැදිලිය .


අලවතුගොඩ මාවතුපොළ පෙතිගහපිටිය රජමහා විහාරස්ථානයට එන උපාසිකාවන් දයාලු සිතින් අළුතින් පන්සලට පැමිණි මේ කුඩා හිමි නම අමතන්නේ මව් සෙනහසින් මේ දරුවා මිදුන නේද යන සිතුවිල්ලත් සමඟය .

සමිද්ධිරතන හිමියෝ දැන් ටෙලියේ රඟ පෑ හිමියන්ට වඩා බොහෝ ශාන්ත බව පවසන්නේ ලේක්හවුස් මාධ්‍යවේදී අසේල
කුරුළුවංශය .

දැන් දුර ඈත ගහකොළින් පිරුණු මේ වෙහෙර බිමේ මහන වූ සොහොයුරන් දෙදෙනෙකි

මාවතුපොළ පෙතිගහපිටිය රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී මාතලේ කොටුවේ ගෙදර විද්‍යාරතන පිරිවෙනේ ආචාර්ය පරණගම නන්දරතන නාහිමියන් පිළියන්දල සිට මහණ දම් පුරන්නට පැමිණි සොහොයුරන් දෙදෙනාගේ කථාව පවසති .

 

“ පවුලේ ඉන්නේ මේ දරුවෝ දෙන්නා විතරයි. අයියා සිඳු නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතය රඟපානවා දැකලා මල්ලි අම්මටයි තාත්තටයි කියලා තියෙනවා මට මහණ වෙන්න ඕන කියලා. ඊට පස්සේ අම්මා දවසක් මට කතා කරලා චූටි පුතා මහණ වෙන්න කැමතියි කියනවා හාමුදුරුවනේ මොකද කරන්නේ කියලා. මුලින් උන්වහන්සේගේ අම්මයි තාත්තයි මේකට කැමැති වෙලා නැහැ. ඒත් දිගින් දිගටම මහණ වෙන්න ඕන කිව්වම ඒ් අයත් හිතලා තියෙනවා, ඒ් ඉල්ලීමට ඉඩදෙන්න ඕන කියලා.”

 

 

මුලින්ම මහණ වූ අයියා බැලීමට පාසල් නිවාඩු කාලයේදී මල්ලී පැමිණියේය.

” පන්සලේ ඉන්න අතරේ මම කිවුවා පුතා මල්ලි වගේ මහණ වෙමු නේද කියලා. ඒ්ත් කැමැති වුණේම නැහැ. නිවාඩු කාලේ නිමා වෙන්න සතියක් විතර තියෙද්දි ගෙදර ගිහින් දවසක් මට කෝල් එකක් අරන් කිවුවා ලොකු හාමුදුරුවනේ මම අර යෝජනාවට කැමැතියි කියලා. මටත් ඒ්ක එකපාරටම හිතා ගන්න බැරි වුණා. මම ඇහුවා අම්මා තාත්තා දැනුම්වත් කළාද කියලා. ඔව් අම්මාගේ අකමැත්තක් නැහැ කිවුවා. සතියකට විතර පස්සේ අම්මා දරුවව පන්සලට කැඳවාගෙන ආවට පස්සේ මම වෙලාකොළේ එහෙමත් බැලුවා. ඒ්කේ ප්‍රශ්නයකුත් තිබුණේ නැහැ. මල්ලි පිළියන්දල විශුද්ධිරතන නමින් සසුන්ගත කළ නිසා මේ පුතාව පිළියන්දල සමිද්ධිරතන නමින් මහණ කළා.”යැයි පරණගම නන්දරතන නාහිමියන් පවසති .


සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ තම අතීතය මෙනෙහි කරන්නේ සන්සුන් ලෙසිනි.

 

“ මට දැන් අවුරුදු 14 යි. අපි කලින් පදිංචිවෙලා හිටියේ හෝමාගම. පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලට තමයි දෙකේ පන්තිය වෙනකල් මම ගියේ. සිඳු නාට්‍යයේ මම රඟපානවා දැකලා ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මාමා කෙනෙක් මට ඒ විදුහලට ඇතුළු වෙන්න අවස්ථාව ලබා දුන්නා. මම ලකුණු 157 ක් ගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වුණා. නාට්‍යයේ රඟපාන ගමන් තමයි ඉස්කෝල් වැඩත් කළේ. මේ පාර නිවාඩුවෙන් පස්සේ මම 9 වැනි වසර පන්තියට තමයි යන්න හිටියේ. ඒ්ත් දැන් මහණ වුණු නිසා ලොකු හාමුදුරුවොත් එක්ක පිරිවෙනේ ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. “

සමද්ධිරතන හාමුදුරුවෝ සිඳු අත්දැකීම මහණදම් පුරන්නට පෙලඹවූ බව පවසති .

සිඳු නාට්‍යයේ රඟපාද්දී ගොඩක් දහම් කරුණු දැන ගන්න ලැබුණා. මම දැනගෙන හිටියා මහණ වුණොත් හොඳක් මිස නරකක් වෙන්නේ නැහැ කියලා. මල්ලි හොඳ ගමනක් යන්න තීරණය කළ නිසා මම ඒ ගැන සතුටු වුණා. ඒ වෙලාවේ මට නම් මහණ වෙන්න හිතක් තිබුණේම නැහැ. මට ඕන වුණේ ලොකු වෙලා පයිලට් කෙනෙක් වෙන්න. පස්සේ ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා හිතුවා. දැන් ඉතින් මගේ බලාපොරොත්තුව ඉගෙන ගෙන සම්බුද්ධ ශාසනයට හොඳ සේවයක් කරන හිමිනමක් වෙන්නයි. “

සමිද්ධිරතන සහ විශුද්ධිරතන හිමිවරුන්ගේ පියා සම්පත් මධුසංඛ ය. මව චතුරිකා ප්‍රියංගනී ය.

“ මගේ දරුවෝ දෙන්නා තෝරාගත් මාර්ගය නිවැරදියි කියලා මම හොඳින්ම දන්නවා. ඒ නිසා තමයි මම දෙවතාවක් නොසිතා ඒ තීරණයට ආශීර්වාද කළේ. සිඳු චරිතය රඟපාන්න යන්න කලින් ඉඳලම පුතා ආගමට දහමට ළැදියි. මොකද මමත් ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනෙක්. පුතාලා දෙන්නා අවබෝධයෙන්ම ගත්ත තීරණයක් මේක. මල්ලි කලින් මහණ වුණ එක ලොකු පුතාටත් ඒ මඟ යන්න බලපෑමක් වෙන්න ඇති. ළමයෙක් බලහත්කාරයෙන් මහණ කරන්න බැහැ. මේ සමාජය අද මඩ ගොහොරුවක්. එක්කෙනෙක් හරි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා නම් අපි ඒකට අකුල් නොහෙළා අතදෙන්න ඕන.” චතුරිකා ප්‍රියංගනී පවසන්නීය .

මාධ්‍ය වේදී අසේල කුරුළුවංශ මේ හන තබන්නේ ඉතා සංවේදී සටහනකි :

සිඳුහි සෝරත හිමිගේ චරිතය රඟපෑමෙන් පසු විහඟ කුරුල්ලෙකු මෙන් ඇදී යන්නේ මවගේ තුරුලට ය. එහෙත් අද සමිද්ධිරතන හිමිට එසේ යා නොහැකි ය. අම්මා මතක් වෙන්නේ නැත්දැයි මම ඇසුවෙමි. “රෑට සැතපෙන්න යනකොට අම්මා මතක් වෙනවා. ඒත් මම දැන් බුද්ධ පුත්‍රයෙක් නේද කියන සිතිවිල්ල මතු කරගෙන ගෙදර අමතක කරනවා.“සමිද්ධිරතන හිමි පැවසුවේ අධිෂ්ඨානශීලිව ය.

නොනිමි විවාදය

පාත්තරයට වසන කපුටෙකු එළවා ගත හැකි සංවාදය ඇති දරුවෙකුට දෙමාපිය අවසරය ඇතිව මහණ වීමට පුළුවන් බවට් ප්‍රවාදයක් ඇත . සුනීත, සෝපාක, රාහුල වැනි හිමිවරුන් කුඩා කාලයේදීම ශාසනයට ඇතුළත් කරගත් අතර පසුව ධර්මාවබෝධය ලැබු .බව තවත් අය පවසති .

ප්‍රකට මානව විද්‍යාඥය ගනනාථ ඔබේසේකර පවසන්නේ අවුරුදු පහළොවට කලින් මහණ කිරීම ථෙරවාදී විනය නීතී උල්ලංගණය කිරීමක් වන බවයි .ලාබාල වියේදී මහණ කිරීම නිසා දරුවන් අනාරක්ෂිත විය හැකි බවයි ඔබේසේකර පෙන්වා දෙන්නේ .

ළමා වියේ කෙරෙන පැවිදි කිරීම් ළමා අයිතීන් උල්ලංගනය කරන බව පවසන පිරිසක්ද සිටිති .
ළමා වියේ මහණදම් පිරීම නිමා නොවන ගැටමුසු විවාදයකි .විටක එය කෙනෙකුගේ සිත පාරවන විවාදයක්ද විය හැකිය.