අපේ ආයුෂත් රැගෙන නිදුක් නිරෝගිව ජීවත් වන්න සුදු අම්මේ….

0
54

ප්‍රවීණ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 95 වැනි ජන්ම දිනය සැමරුවේ දහසක් දෙනාගේ සුබ පැතුම් මැදය. ඇය කිසිදා අවරට නොයන සදා කාලික යොවුන් බවේ සංකේතයයි .මීදෙණිය පරපුරේ අභිමානයයි. රූප ගන්න තැනට ගිය විට හැමෝගේම හිත දිනා ගන්නා සොඳුරු අත් අම්ම්මාය.ගහට කොළට ලදි පරිසර වේදිනියයි.

ඇගේ ජීවිතයේ සැමරුම් බොහෝය…

පුංචි තිරයේ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යයේ සුදු හාමිනේගේ චරිතය බොහෝ දෙනා තුල මතක ඇති කරවන චරිතයකි. අයිරාංගනී සේරසිංහ පසුගියදා හදිසියේම සිහිසුන්ව ඇද වැටීම නිසා රෝහල් ගත කළ ද දැන් සුවය ලබා නිවසට පැමිණ සිටිනවා.

ඇගේ පියා ජෝශප් හර්ක්‍යුලස් මීදෙනිය, රත්නපුරේ රටේ මහත්තයායි. මව රත්නපුර මන්ත්‍රීවරයකු සිටි නන්ද එල්ලාවලගේ පියාගේ සොහොයුරියක වූ වයලට් එල්ලාවලයි. ඇගේ පියාගේ පියා වූ මීදෙනිය අදිකාරම් එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවට රුවන්වැල්ල ආසනයෙන් නිතරඟයෙන් පත් වුණා. අයිරාංගනී සමඟ ඒ පවුලට තවත් සහෝදර සහෝදරියන් තුන් දෙනකු ඉන්නවා. ඒ ඉන්ද්‍රාණි, කමනී හා මහින්දයි. එයින් කමනී මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳයි.

අද 95 විය පසු කරමින් සිටින අයිරාංගනී සේරසිංහ තවමත් රංගනය අත් හැර නැහැ. කිරිගණිතයා ගුරුන්නාන්සේගෙන් වෙතින් උඩරට නැටුම් ඉගෙන ගත්ඇය නැටුම් පුහුණුවන්නට ගියේ චිත්‍රසේන ළඟටය.

උසස් පෙළ සමත් වූ ඇයට 1947 දී විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලැබුණා. උපාධියෙන් පසු ඇය කොළඹ එම විශ්ව විද්‍යාලයේ ම මහාචාර්යවරයකු වූ දන්ත වෛද්‍ය විශේෂඥ එස්. බී. දිසානායක සමඟ විවාහ වුවත් ඒ විවාහය වැඩි කලක් පැවතුණේ නැහැ.

ඇය ලන්ඩනයේ බ්‍රිස්ටල්හී ඕල්ඩ්වික් නාට්‍ය පාසලට ඇතුළත් වුණා. එහි වසරක කාලයක් නාට්‍ය හැදෑරූ ඇය ඉන්පසු ලන්ඩන් රංග කලා හා කථන පාසලේ තවත් වසර දෙකක පුහුණුවක් ලැබුවා.

ඉන්පසු 1955 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්, කැමරාශිල්පී වීලී බ්ලේක් හා ටයිටස් තොටවත්ත සමග රජයේ චිත්‍රපට අංශයෙන් ඉවත්ව ‘රේඛාව’ නමින් වෘත්තාන්ත සිංහල චිත්‍රපටයක් තනන්නට පටන් ගත්තා. එහි අයිරාංගනී රඟපෑවේ සේනගේ මව වූ කතිරිනාගේ චරිතයයි. ‘රේඛාව’ චිත්‍රපටයෙන් පසු ඇය ලෙස්ටර්ගේ ‘සන්දේශය’ (1960), ‘දෙලොවක් අතර’(1966), ‘රන්සළු’ (1967), ‘ගෝඩ් කිං’(1974), ‘අවරගිර’(1990), ‘වෑකන්ද වලව්ව’ වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූණා. ‘ගම්පෙරළිය’ චිත්‍රපටයේ මාතර හාමිනේ ලෙස ද ඇය තෝරාගත් නමුත් ඇගේ සිරුරේ හැඩය එම චරිතය සඳහා නොගැලපුණු නිසා ලෙස්ටර් ඒ අදහස වෙනස් කර ඊට ශාන්ති ලේඛාව තෝරා ගත්තා. ‘රේඛාව’ චිත්‍රපටයෙන් ඇරඹි අයිරාංගනීගේ සිනමා දිවිය තුළ මේ වන විට ඇය රංගනයෙන් ඔප් නංවා ඇති චිත්‍රපට ගණන 37ක්.

ලෙස්ටර් හැරෙන්නට ඇය වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලටත් රංගනයෙන් එක් වුණා. දයානන්ද ගුණවර්ධන ගේ ‘’බක්මහ දීගේ(1969)’, ටයිටස් තොටවත්තගේ ‘තෙවත’ (1970), අමරනාත් ජයතිලකගේ ‘ප්‍රියංගා’(1970), ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’(1981), එච් ඩී. ප්‍රේමරත්නගේ ‘දෙවැනි ගමන’(1982), වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’(1981), චන්ද්‍රන් රත්නම්ගේ ‘ආදර කතාව’(1985) සහ ‘පොරොන්දුව’(2001), සුමිත්‍රා පීරිස්ගේ ‘ලොකු දුව’(1996), සුනිල් ආරියත්න ගේ ‘සුදු සෙවණැලි’(2002), රන්ජිත් කුරුප්පුගේ ‘පවන රළු විය’(2005), ‘සුළඟ අප රැගෙන යාවි ’(2019) ඒ අතරින් කීපයක්. ඊට අමතරව ඇය විදේශ විත්‍රපටවලද රඟපෑවා.. සුප්‍රකට ඇමරිකන් චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’(1984), දීපා මේතාගේ ‘වෝටර්’(2005), ඉන් කීපයක්.

ඇය පුංචි තිරයට එක්වෙමින් යශෝරාවය නැංවූයේ පරාක්‍රම නිරිඇල්ලගේ ‘යශෝරාවය’ (1980-) ටෙලි මාලා නාටකයෙන්. එහි ‘සුදු හාමිනේ’ ලෙසින් ඇය අති ප්‍රබල රංගනයක යෙදුණා. ජීවිතයේ දුක් ගැහැට විඳින දරුවන් වෙනුවෙන් කැප වූ දිරිය මවකගේ චරිතය ඇය සියුම් රංගනයෙන් ඉස්මතු කළ ආකාරය අමතක නොවනසුලුයි එහිදී ඇගේ සැමියාගේ චරිතය රඟපෑ දක්ෂ චරිතාංග නළුවකු ව ඩබ්ලිව්. සුරේන්ද්‍රගේ නිර්මාණ ප්‍රතිභාව ද ඇගේ රංගනය ඔප්නැංවීමට හේතු වන්නට ඇති. එතැන් සිට පුංචි තිරයට ඇය නැතිවම බැරි රංගන ශිල්පිණියක පත් පත් වුණා. යශෝරාවයෙන් පසු ඇය රංගනයෙන් පණ පෙව්වේ නාලන් මෙන්ඩිස්ගේ ‘දූදරුවෝ’ (1990-95) මාලා ටෙලි නාටකයේ ඩල්සි ආච්චිගේ චරිතයටයි. එදා ලෙස්ටර් ‘ගම්පෙරළිය’ නවකතාව සිනමාවට නඟද්දී මාතර හාමිනේ ගේ චරිතයට ඇගේ හැඩරුව නුසුදුසු යැයි තීරණය කළත් තරුණ බර්ට්‍ර්ම් නිහාල් ‘ගම්පෙරළිය’(1988-) මාලා නාටකයක් ලෙස රූපවාහිනියට නඟද්දී ඇයට මාතර හාමිනේගේ චරිතය ලබා දුන් අතර ඇය ආකර්ෂණීය ලෙස රඟපෑ බැව් කිවයුතුයි.

ඇය මේ වන විට ටෙලි නාට්‍ය මහත් රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ‘නෑදෑයෝ’, ‘අම්මයි තාත්තයි’, ‘සත්පුර වැසියෝ’, ‘මුතු කිරිල්ලී’, ‘අමන්දා’, ‘තාත්තා’, ‘විහඟ ගීතය’, ‘පාරාදීසය’, ‘නොනිමි යාත්‍රා’, ‘මගේ කවිය මට දෙන්න’, ‘වැටෙන් එහා’, ‘සුදු හංසයෝ’ ආදිය ඉන් කීපයක්.

රේඛාවේ කතිරිනා, බක්මහ දීගේ ලමාතැනී, යශෝරාවයේ සුදු හාමිනේ, දූදරුවෝහි ඩල්සි ආච්චි ආදි වශයෙන් මේ සියලු විවිධ චරිත එකම රූපකායක කැටි වූ ඇති ආකාරය විස්මයජනකයි. සිංහල හා ඉංග්‍රීසි වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන කලා මාධ්‍ය තුනම ජයගත්, තවමත් රංගනයේ යෙදෙන ඇය අප අතර සිටින වයෝවෘද්ධතම එමෙන්ම දක්ෂතම චරිතාංග නිළියයි.

ඉංග්‍රීසි නාට්‍යවල රඟපාද්දී ඇයට මෙරට සිටි දක්ෂ වේදිකා නළුවකු වූ වින්ස්ටන් සේරසිංහ මුණ ගැහුණා. ඒ මිතුරුදම විවාහයකට පෙරළුණා. 1999දි වින්ස්ටන් සේරසිංහ මිය යනතුරුම ඇයට ආදරණීය සැමියකු වුණා. ඒ විවාහයෙන් ඔවුන්ට රවි හා රංජිත් කියා පුතුන් දෙදෙනකු ලැබුණා. එයින් රවි අකාලයේ මිය යෑම නිසා අයිරාංගනීට විශාල වේදනාවක් ගෙන දුන් කරුණක් වුණා.

“එයාට වයස අවුරුදු 31යි. විවාහ ගිවිසගෙනයි, සිටියේ. එයා නිවස ඉදිරිපිට මහපාරේදීම අනතුරකට ලක්වුණා. බලාපොරොත්තු රැසක් ඉදිරියෙන් තියාගෙන ඉඳිද්දීම එයා අපව දාලා ගියා.” අයිරාංගනී කියන්නේ අතීතය සුසුමක පා කර හරිමින්. උපතින් කිතුනු දහම ඇදහු ඇය එයින් පසු වඩ වඩාත් බුදුදහමට සමීප වුණා පමණක් නොව අන්තිමේදී බුදුදහම වැළඳ ගත්තා. ඒ පෙරළිය සිදු වුණේ අහම්බෙන් මිතුරික ගෙනත් දුන් කිරින්දේ ධම්මානන්ද නාහිමියන් විසින් ඉංග්‍රීසියෙන් ලියූ ‘බුදු දහම හා ජීවිතය’ නම් පොත් පිංචකින්.
(මල් කැකුළු -වෙබ් තොරතුරු අනුග්‍රහය )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here